වසර 200ක් සපිරීම නව උදාවක් වන්නේ කෙසේද?



ඳුකර දෙමළ ජනයාට වසර 200ක ඉතිහාසයක් ඇති බව අපි දනිමු. ප්‍රධාන දිස්ත්‍රික්ක අටේ අපට උරුමව ඇත්තේ එකම ආකාරයේ අඩි හතරේ කාමර, වතු නිවාස, දුර්වල සනීපාරක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික ගැටලු, දුප්පත්කම, රැකියා අවස්ථා නොමැතිකම, තරුණ තරුණියන් මැදපෙරදිගට සංක්‍රමණය වීම, ළමා අපචාර, ළමා ශ්‍රමය සහ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය බෙදා හැරීම, තරුණ තරුණියන්ගේ නාගරික උන්මාදය යි. පරම්පරාවෙන් පරම්පරාවට විවිධ ඛේදවාචක අත්විඳින සමාජයක් ලෙස ජීවත් වන අපට වසර 200ක් සපිරීම නව උදාවක් වන්නේ කෙසේද? කවදා ද? අපිට දිගටම ඇසීමට ප්‍රශ්න තිබේ.

තමන්ගේ බිමේ සැප සම්පත් කිසිදා විඳ නැති අපේ මිනිසුන්ට ඒ සැප සම්පත් විඳින්නට හැක්කේ දේශපාලකයෙකු මැදිහත් වුවහොත් පමණක් වීම කණගාටුදායක කරුණකි. මෙලෙස තිබියදී වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය, අධ්‍යාපන ප්‍රශ්නය, ගුරු හිඟය, ඉඩම් අයිතිය, ජනසතු කිරීම වැනි වෙනසක් ඇති කළ හැකි ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපේ නායකයන් අසමත්ව සිටී. රටක් නැතැයි හංවඩු ගසා පුරවැසිභාවය අහිමි කළ අපේ ඥාතීහු තවමත් තමන්ගේ ඉඩමක් නොමැතිව තේ කඳුවල ජීවිත පරිත්‍යාග කරමින් ජීවත් වෙති.

කඳුකරයේ දෙමළ ජනයා වූ අප තවමත් ජීවත් වන්නේ මිනිසකු වළලන්නට තැනක් නැති සමාජයක බව දකිද්දී පිටත සමාජයට දැනෙන්නේ චකිතයකි. යම්කිසි පුද්ගලයෙකු  මිය ගිය පසු තේ වතු ඉඩමේ පැළ ගැලවීමට, අඩි 6ක් පමණ ගැඹුරු වළක් කැපීමට වුවද කළමනාකරුගෙන් නිසි අවසරයක් ලබා ගත යුතු ය. නිවසක් සාදා ගැනීමට අවශ්‍ය වුවද  ඒ සදහා අවසර ගැනීම කළ යුතු අතර සමහර අවස්ථාවලදී එම නිවස තමාට හිමිකර ගැනීමටද නොහැකි වේ. ලංකා සමාජයේ තම ඕනෑ එපාකම් ඉටු කරගැනීම සඳහා කඳුකර දෙමළ ජනයා අවශ්‍ය පරිදි භාවිතා කරමින් පවතියි. රටේ ඉහළම ආදායමක් උපයන තේ සහ රබර් වතුවල ජීවිත දිය කරන්නේ කඳුකර දෙමළ ප්‍රජාව බවත්, අද දක්වාම රටේ කොඳු නාරටිය අපි බවත් කඳුකර දෙමළ තරුණයකු ලෙස කඳුළු පිරි දෙනෙතින් යුතුව මෙහි ලියා තබමි.

- ඥානසේකරම් සුදර්ශන්

  නුවර-එළිය


Comments

Popular posts from this blog

ජාත්‍යන්තර මව් භාෂා දිනය

අපි සැවොම යුද්ධයේ පරාජිතයින් ය!