මුල්ලිවායික්කාල් දෙමළ වර්ග සංහාර ස්මරණ දිනය





මුල්ලිවායික්කාල් දෙමළ වර්ග සංහාර ස්මරණ දිනය යනු ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය තුළ විශේෂයෙන්ම අවසන් අදියරේදී සංහාරය වූ දෙමළ ජනතාව ස්මර්ණය කරනු ලබන දිනය යි. එය සෑම වසරකම මැයි 18 වන දින පවත්වනු ලබන අතර එම දිනය නම් කර ඇත්තේ සහ ස්මරණය පවත්වනු ලබන්නේ යුද්ධයේ අවසන් ප්‍රහාර එල්ල වූ සහ විශාල සංඛ්‍යාවක් මියගිය කුඩා බිම් තීරයක් වන මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ යි. මෙම වසරේ මුල්ලිවායික්කාල් ස්මරණය පවත්වනු ලැබුවේ 14 වෙනි වසරට යි. 




යුද්ධයේ අවසාන අදියරේදී දහස් සංඛ්‍යාත දෙමළ ජනයා මුල්ලිවායික්කාල් හි කුඩා බිම් තීරුවකට කොටු වූ අතර ඉන් බොහෝ පිරිසක් බෝම්බ ප්‍රහාර හමුවේ සේම සාගතයෙන් සහ බෙහෙත් නොමැතිකම හේතුවෙන් ද ඝාතනය වූහ. එම අවසන් මාස කිහිපය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා කිහිපයක් නිකුත් වී ඇත(1).  එක්සත් ජාතීන්ගේ සංවිධානය, සංගණන සංඛ්‍යාලේඛන සහ ලෝක බැංකු දත්ත ඇතුළු විවිධ මූලාශ්‍ර පරීක්ෂා කිරීමෙන් පසු ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) සොයා ගනු ලැබුවේ යුද්ධයේ අවසන් අදියරේදී මියගිය සංඛ්‍යාව 169,796 ක් තරම් විශාල විය හැකි බවයි(2).




කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය විසින් යුද්ධය අවසන් වීම විජයග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන අතර සෑම වසරකම මැයි 19 වනදා රාජ්‍ය අනුග්‍රහයෙන් 'විජයග්‍රහණයේ දිනය' ලෙස සමරනු ලබයි. ශ්‍රී ලංකාව විසින් මේ වනතුරු එල්ලවන අපරාධ චෝදනා හෝ සිදු කරන ලද අයුක්තීන් සම්බන්ධයෙන් කිසිම අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් හෝ ඵලදායී ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.


රජයේ තහනම් කිරීම්, මිලිටරීමය මැදිහත්වීම් සහ අත් අඩංගුවට ගැනීම් වැනි විවිධ බාධක මධ්‍යයේ වුව දෙමළ ජනයා විසින් මැයි 18 දින ඝාතනය වන්නට වූ සිය ආදරණීයයන් ස්මරණය කරනු ලබයි. ස්මරණය කිරීම යුද්ධයේ වේදනාවන් සහ තුවාල සුවපත් කරනු ලබන එක් මාර්ගයක් වන අතර එය තිරසර සාමය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් ද වේ.  මුල්ලිවායික්කාල් හි පැවැත්වෙන ස්මර්ණයට අමතරව උතුරු නැගෙනහිර ප්‍රධාන ප්‍රදේශවල සහ ස්ථානවල මෙම ස්මරණය පවත්වනු ලබයි. කෙසේ වෙතත් මුල්ලිවායික්කාල් ස්මරණය හුදු මළවුන් සිහිකිරීමක් පමණක් නොවේ. එම ස්මරණය තුළ යුද්ධය තුළ සිදු කළ අපරාධවල සත්‍ය හෙළිකිරීම, ඒවාට වගකිව යුත්තන් වගවීමට ලක්කිරීම, ඒවායේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම කිරීමේ අවශ්‍යතාව දෙමළ ජනයා හඬ ගා කියති. 





මුල්ලිවායික්කාල් වර්ග සංහාරය ස්මරණ දිනයේ දී සංහාරයට ලක් වූ ජනතාවගෙන් ජීවතුන් අතර සිටින පිරිස  සිය සාමූහික මතකය පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යමින් සිය ඓතිහාසික දේශපාලන ඉල්ලීම් අවධාරණය කරති. 


මුල්ලිවායික්කාල් දෙමළ වර්ග සංහාර දින ස්මරණය යනු සත්‍ය සහ යුක්තිය පිළිබඳවත් වගවීම පිළිබඳවත් අමතක නොකිරීම පිළිබඳවත් ශ්‍රී ලංකාවට සිහිපත් කරවන දිනයකි. 





     https://www.right-docs.org/doc/a-hrc-res-19-2/ 

     https://www.right-docs.org/doc/a-hrc-res-22-1/ 

     https://www.right-docs.org/doc/a-hrc-res-25-1/

     https://ap.ohchr.org/documents/dpage_e.aspx?si=A/HRC/RES/30/1

     https://www.right-docs.org/doc/a-hrc-res-34-1/

     https://www.right-docs.org/doc/a-hrc-res-40-1/ 

     https://www.ohchr.org/en/press-releases/2022/09/sri-lanka-critical-juncture-un-report-urges-progress-accountability

Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?