මහමග වසර නවයක්: ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ අරගලය



2026 පෙබරවාරි 20 වන දිනට උතුරු - නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූවන්ගේ පවුල් විසින් මහමග අඛණ්ඩ විරෝධතාවය ආරම්භ කර වසර නවයක් සනිටුහන් විය. 2017 දී අතුරුදහන් කිරීමට ලක් වූවන් පිළිබඳ පිළිතුරු ඉල්ලීමේ වේදනාකාරී ආයාචනයක් ලෙස ආරම්භ මෙම අරගලය ශ්‍රී ලංකා ඉතිහාසයේ දීර්ඝතම අඛණ්ඩ අරගලය බවට පත්ව ඇත. දශකයකට ආසන්න කාලයක් තිස්සේ අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ  මව්වරු, පියවරු, භාර්යාවෝ සහ සහෝදර සහෝදරියෝ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශවල තම ප්‍රියාදරයන්ගේ ඡායාරූප ඔසවාගෙන විරෝධතා දක්වමින් සිටිති.


ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට 2009 යුද්ධයේ අවසාන අදියරවලට වඩා බොහෝ සෙයින් ඈතට විහිදෙන දිගු ඉතිහාසයක් තිබේ. Amnesty International (ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය) විසින් සම්පාදනය කරන ලද ඇස්තමේන්තුවලට අනුව 1980 ගණන්වල සිට ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් අවම වශයෙන් 60,000 - 100,000 පමණ ගණනක් සිදුවී ඇත.(1) රජයේ නිල ජනගහණ සංඛ්‍යා ලේඛණ සහ ලෝක බැංකු නිවාස සංගණන වාර්තා මත පිහිටමින් International Truth and Justice Project සංවිධානය විසින් කළ ගණන් බැලීම් අනුව, 2009 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල සිවිල් වැසියන් 169,796 දෙනෙකු අතුරුදහන් වී ඇත.(2) බලහත්කාරයෙන් සිදු කරන ලද හෝ ස්වේච්ඡා නොවන අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම විසින් 2015 දී නිකුත් කළ වාර්තාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම අතුරුදහන් කිරීම් සිදු වූ රටවල් අතර දෙවෙනි ස්ථානයේ පසු වේ.(3) 


                    

2009 යුද්ධයේ අවසාන මාසවල දී ශ්‍රී ලංකා හමුදාවට භාර වූ, ඥාතීන් විසින් භාර දෙන ලද සහ ශ්‍රී ලංකා හමුදාව විසින් රැගෙන ගිය පුද්ගලයන්ගේ ඉරණම පිළිබඳ කිසිදු විශ්වාසදායක තොරතුරු නොලැබීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම 2017 දී මෙම විරෝධතාවය ආරම්භ විය. පැමිණිලි කිරීම්, කඳවුරු, බන්ධනාගාර සහ පොලිස් ස්ථානවල සොයා බැලීම්, නිලධාරීන්ට සියලු අන්දමේ දැනුම් දීම්, කොමිෂන් සභා හමුවේ සාක්ෂි දීම් ආදී සියලු විධිමත් මාර්ග අනුගමනය කිරීමෙන් පසු කිසිදු ප්‍රගතියක් නොමැති තැන අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීහු කිලිනොච්චියේ අඛණ්ඩ විරෝධතාවය ආරම්භ කළහ. ඉන් සති කිහිපයක් ඇවෑමෙන් උතුරු-නැගෙනහිර අනෙකුත් දිස්ත්‍රික්ක පුරාම අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීහු විරෝධතා ආරම්භ කළහ.


පසුගිය වසර නවය තුළ, අනුප්‍රාප්තික රජයන් - මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යහපාලන රජයේ සිට ගෝටාබය රාජපක්ෂ පාලනය සහ වර්තමාන ජාතික ජන බලවේග රජය දක්වාම අතුරුදහන් කිරීමට ලක් වූවන් සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබා දී නැත. 2017 දී මෛත්‍රී-රනිල් රජය විසින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවන ලද නමුත්, එය අතුරුදහන් කිරීමට ලක් වූවන් පිළිබඳ කිසිදු පිළිතුරු නොසපයන තවත් නිලධාරිවාදී පියවරක් බවට උතුරු-නැගෙනහිර අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ දැඩි විවේචනයට ලක් වී ඇත. අතුරුදහන් වූවන්ට සිදු වූ දේ පිළිබඳව සත්‍ය හෙළි කර ඒවාට යුක්තිය ඉටු කිරීමට ඊට ඇති නොහැකියාව, දේශීය යාන්ත්‍රණ හරහා වගවීම ස්ථාපිත කළ නොහැකි බවට නිදසුනක් වී ඇත.



ශ්‍රී ලංකාව ද පාර්ශවකාරී රාජ්‍යයක් වශයෙන් අත්සන් තබා ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය අනුව රාජ්‍ය නියෝජිතයන් විසින් හෝ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම හෝ පැහැර ගැනීමත්, ඉන්පසුව අදාළ පුද්ගලයාව නීතියේ ආරක්ෂාවෙන් බැහැරව තබන එම පුද්ගලයාගේ නිදහස අහිමි කිරීම හෝ ඉරණම සැඟවීම පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම ලෙස අර්ථ දක්වා ඇත. 2018 වසරේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම ජාත්‍යන්තර සම්මුතිය දේශීය නීතියට ඇතුළත් කරගනිමින් 2018 දී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලුම පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුති පනත සම්මත කරන ලදී.


රෝම ප්‍රඥප්තිය සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ දක්වන ජාත්‍යන්තර නීති මූලධර්ම අනුව එවැනි අතුරුදහන් කිරීම් සිවිල් ජනගහනයකට එරෙහි පුළුල් හෝ ව්‍යුහාත්මක ප්‍රහාරයක කොටසක් වන විට ඒවා 'මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ' ලෙස සලකනු ලැබේ.  බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් විමර්ශනය කිරීමට, සත්‍ය හෙළි කිරීමට, නඩු පැවරීමට, අපරාධකරුවන් වගවීමට ලක් කිරීමට සහ වින්දිත පවුල්වලට වන්දි ලබා දීමට ජාත්‍යන්තර නීතිය යටතේ සියලු රාජ්‍යයන් බැඳී සිටියි.


බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් මූලික මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස සැලකේ. වින්දිතයන් නීතියේ ආරක්ෂාවෙන් ඉවත් කරනු ලැබ වධහිංසා පැමිණවීම, කෲර ලෙස සැලකීම හෝ ඝාතනය කිරීමට ලක්වීම සිදුවිය හැකි අතර ඔවුන්ගේ අනන්‍යතාවය, නිදහස, සාධාරණ නඩු විභාග අයිතිවාසිකම් සහ අධිකරණ අධීක්ෂණයේ ආරක්ෂාව අහිමි කරනු ලැබේ. එසේම වින්දිතයන්ගේ පවුල් දිගුකාලීන මානසික වේදනාවට, ආර්ථික දුෂ්කරතාවන්ට සහ පරම්පරා ගණනාවක් පුරා පැවතිය හැකි විවිධ සමාජ අවිනිශ්චිතතාවයන්ගෙන් පීඩා විඳිති.



මෙම විරෝධතාවයේ නිරත අති මහත් බහුතරය වයෝවෘද්ධ කාන්තාවෝ වෙති. ඔවුන් අතරින් 500කට ආසන්න ගණනක් පසුගිය වසර නවය තුළ තම දරුවන්ට සිදුවූයේ කුමක්දැයි නොදැනම මිය ගොස් ඇත. විරෝධතාවයේ නිරත සියලු අම්මාවරු කිසිදු සමාජ සහයෝගයක් නොමැතිව රෝග හා ආර්ථික දුෂ්කරතා සමඟ පොරබදති. මෙය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් 'අවසන් වූ සිදුවීම්' නොව, පිළිතුරු සඟවා ඇති තාක් කල් වින්දිතයන්ගේ ඥාතීන්ට සේම එම සමස්ථ ප්‍රජා කණ්ඩායමටම බලපාන අඛණ්ඩ හානියක් වන බවට නිදසුන් සපයයි.


1987-89 සමයේ සිය සාමාජිකයන් දසදහස් ගණනක් රාජ්‍ය හමුදා විසින් අතුරුදහන් කිරීමට ලක් වූ වර්තමාන රජය ද පෙර රජයන් අනුයමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසරිස්වරයාගේ කාර්යාලය විසින් ස්ථාපිත කර ඇති සාක්ෂි එක් රැස් කිරීමේ යාන්ත්‍රණය ඇතුළු සියලු ජාත්‍යන්තර පරීක්ෂණ සහ පිළිගත් වාර්තාවන්ට පවා දිගින් දිගටම විරුද්ධ වෙමින් සිටියි. 


                     

උතුරු-නැගෙනහිර බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ විරෝධතාවය වසර නවයක් සනිටුහන් කරන විටත් ශ්‍රී ලංකාවේ යුක්තිය පිළිබඳ ප්‍රශ්නය තවමත් විසඳී නොමැත. මෙම මව්වරු ඇතුළු ඥාතීන්ගේ ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අතුරුදහන් කිරීමට ලක් වූ ප්‍රියාදරයන්ගේ ඉරණම පිළිබඳ නිශ්චිත පිළිතුරු ය. ඔවුන්ගේ අරගලය, යුක්තිය සහ සත්‍යය නොසලකා හරින සංහිඳියාව අසම්පූර්ණ බවට වන පුළුල් සත්‍යය අවධාරණය කරයි. 


සටහන සහ ඡායාරූප: Act Now

(1) https://www.amnesty.org/en/wp-content/uploads/2021/05/ASA3754972017ENGLISH.pdf 
(2) https://itjpsl.com/assets/ITJP_death_toll_A4_v6.pdf 
(3) https://docs.un.org/en/A/HRC/30/38 

Comments

Popular posts from this blog

මුල්ලිවායික්කාල් දෙමළ වර්ග සංහාර ස්මරණ දිනය

වසර 200ක් සපිරීම නව උදාවක් වන්නේ කෙසේද?

ජනමාධ්‍ය නිදහස සඳහා වන ජාත්‍යන්තර දිනය