සාමය උදා විය යුත්තේ ගරු කිරීම තුළින්

මුස්ලිම් ජනතාවගේ දේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් ඇති වී ඇති ප්‍රශ්න අන්තවාදී මත දරන්නන් විසින් මතු කළ ඒවා මිස සෞඛ්‍ය අංශ විසින් මතු කළ ඒවා නොවේ. එක පැත්තකින් මේක ඔවුන්ගේ මිනිස් අයිතිය. දෙවැනුව ආගමික අයිතිය. තුන්වෙනුව සංහිඳියාව පිළිබඳ කතා කරන මේ යුගයේදි ඒ සංහිඳියාව ආරක්ෂා විය යුතු නම් කළ යුතුව තිබෙන්නේ මේ රටේ වෙසෙන සියලු ආගමිකයින්ගේ අයිතීන් අරක්ෂා කිරීම. 

භූමදානය කිරීම තුළින් කොවිඩ්-19 බෝවෙන බවට ඔප්පු කර නැහැ. මෑතකදි එළි දක්වා තිබෙන තාක්ෂණික කමිටු  වාර්තාවේ පවා ඔවුන් කියනවා ඔවුන් ආදාහනයටත් භූමදානයටත් ඉඩ දී තිබෙන බව. ඇයි මේ පාලකයින් ජනතාවට ප්‍රකාශ කරන්නේ නැත්තේ?

මීට කලින් අපේ මුස්ලිම් සහෝදරවරුන්ට එරෙහිව දර්ගා නුවරදි, අම්පාරේදී, දිගනදී හානි කළා, ඔවුන්ගේ දේපල කොල්ලකෑවා, ගිනි තිබ්බා. මේ මොහොතේ මුස්ලිම් ජනයාගේ හිත් රිදවමින් කරන්නේ ප්‍රචණ්ඩත්වයට ආරාධනා කිරීම. මුස්ලිම් ජනතාව මේ මොහොතේදී බුද්ධිමත් ජනතාවක් ලෙස සාමකාමීව සිටිනවා අපගේ අයිතිය ආරක්ෂා වීමට දේශපාලනික තීන්දුවක් ආ යුතුයි කියා. රජය බලාපොරොත්තු වෙන්නේ ආගම්වාදි ජාතිවාදි කලකෝලහාලද? ඔවුන්ට, ඔවුන්ගේ ආගමට ගරු කර  ආගමික අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම මේ රජයට තිබෙනවා. 

මේ රට පාලනය කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මිස ජාතිවාදීන්ගේ සහ ආගම්වාදීන්ගේ වුවමනා මත නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේ මේ රට සියලු දෙනාට. සියලු ආගමිකයින්ට. 

මානව හිමිකම් සැසිය පැවැත්වීමට නියමිත මේ මොහොතේදී එය ඉලක්ක කරගෙන නොව, මේ රටේ ජීවත් වෙන ජනතාව සාමකාමිව සංහිඳියාවෙන් ජීවත් වීම සඳහා අයිතීන් රැකෙන තීන්දුවක් ගත යුතු යි. පුරවැසියන්ගේ අයිතිය රකිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ හිඳිමින් මේ ගැටලුව විසඳනු ඇතියි අපි බලාපොරොත්තු වෙනවා. සාමය උදා විය යුත්තේ ගරු කිරීම තුළින්. ගරු කිරීම  සිදු විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය, මානව හිමිකම් අනුව යි.  


සත්තිවේල් පියතුමා 


Comments

Popular posts from this blog

The Long Road to Justice: The Unfinished Struggle of the Mothers of the Disappeared

මහමග වසර නවයක්: ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ අරගලය

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය සඳහා වගවීම වාර්තාව