කොරෝනා ගිලගත් මනුස්සකම

කොරෝනා වසංගතය කොහොම කෙසේ හැසිරෙන්නේද යන්න අද වන විට රටේ හැමෝම දන්නා කරුණක්. නමුත් කොරෝනා වසංගතය පරාජය කිරීමට රටම එක්වීමට අවශ්ය මොහොතක දී කොරෝනා වසංගතයට වඩා මිනිස්සු විසින් මිනිසත්කම පරාජය කළේ කෙසේද යන්න බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. මම ඒ අමනුෂ්යත්වය හොඳින්ම අත්විඳි කෙනෙක්. මගේ අම්මා කියන්නේ රූපවාහිනයට, අන්තර්ජාලයට අනුව සුව විරුවෙක්. නමුත් ඒක හුදු නාමකරණයක් පමණයි. රූපවාහිනිය තුළ විකාශය වන ගීතවල වගේ අපේ අම්මලාව සමාජය තුළ ඇගයීමට ලක් වෙනවාද, ඔවුන් කරන සේවයට අවශ්ය දේ ලැබෙනවාද කියන එක ගැන මම මගෙන්ම ප්රශ්න කරන තත්ත්වයට පත් වුණා.

අම්මා නිතරම කටයුතු කළේ ලබා දී තිබුණු උපදෙස්වලට අනුව යි. අම්මා ගෙදරට ඇතුලු වෙන්නේත් පිටුපස දොරෙන්. අත්සන් කරන පෑනක්වත් ගෙදර ගේන්නෙ නැති තරමට අම්මා පරිස්සම් වුණේ අපි සියලු දෙනා වෙනුවෙන්. වෙනදාට තමන්ගේ අක්කලා මල්ලිලා බලන්න රෑක හරි යන අම්මා ඒ යාම් ඒම් නතර කළා. රෝගියෙක්ව වෙනත් රෝහලකට රැගෙන ගිහින් ආපු සැණින් වෙලාව කීය වුණත්, මොන අසනීපයක් තිබුණත් අම්මා නාන්න ඕනේ. කෑම එකක් දෙන්න අපි ගියත් රෝහලේ ගේට්ටුවෙන් ඇතුළට එන්න අම්මා අපිට ඉඩ දුන්නේ නැහැ. කෑම එක ගන්න අම්මා එන්නේ නාලා. අම්මාගේ ඥාතීන්ට අපේ ගෙදර එන එක අම්මා තහනම් කළේ සියලු දෙනාගේම ආරක්ෂා කිරීම අම්මාගේ වගකීම නිසා බව අම්මා මට තේරුම් කළා. අම්මාගේ මුදල්වලින්ම කොරෝනා ආරක්ෂිත ඇඳුම් මහගත්තා.
නමුත් ඒ තරම් අනිත් අයගේ ආරක්ෂාව මූලික කරගෙන කටයුතු කරපු, කොරෝනා නිසා අනේක දුක් විඳ ඒ සුව විරුවන්ව ගම් ඇතුලෙ කොන් කළා. අපේ ගමේ සියලු දෙනා පොදුවේ ගමේ වැව භාවිතා කරනවා. නමුත් හැම දෙනාටම පොදු වුණ වැව සුව විරුවන් වශයෙන් සමාජ ජාලවලින් උලුප්පා දැක්වූ මගේ අම්මා ඇතුළු රෝහල්වල සේවය කරන කීප දෙනෙකුටම තහනම් තැනක් වුණා. එදා සිට අද වනතුරු අම්මාවත් අපිවත් වැවට ගියෙ නැහැ. අපි ඒ අයගේ ගෙවල්වල එන්නේ නැත්තේ ඒ අයගෙන් අපිට කොරෝනා බෝ වෙයි කියල හිතන නිසාද කියල අහපු අයත් හිටියා. අපි දෙන උත්තර පිළිගන්න අකැමැති අයත් හිටියා.
වෙනදා බෙහෙත් ටික අරන් දෙන කෙනා අද ගේ ළඟට එනවටවත් අකමැති මිනිස්සු එක්ක මෙච්චර කල් ජීවත් වුණේ කියලා දැනගන්න කොරෝනා උදව්වක් වුණා. ප්රශ්නය තමන්ගේ වෙනකම් කාටවත් ගාණක් නැහැ. රූපවාහිනියට අනුව අපි සුවවිරු පවුලක්. ගමට අනුව කොරෝනා බෝකරන පවුලක්. මාධ්ය මඟින් සුවවිරුවා කියලා ලේබල් ගැහුවට අපේ සමාජය ඇතුළට ගියාම දකින්න තියෙන යථාර්ථය තමයි මේක. කොරෝනා වසංගතය විසින් ජීවිත බිලි ගත්තට වඩා මනුස්සකම බිලි ගත්තා කියලා තේරුම් යද්දි පරක්කු වැඩි වෙයි. කොරෝනා වසංගත කාලය හැමෝටම අමාරු කාලයක්. නමුත් කොයි තරම් දුෂ්කර අවස්ථාවකදි වුණත් මනුස්සකම ආරක්ෂා කරගත යුතුයි කියලා කොරෝනා වසංගතය තුළදිවත් ඉගෙන ගනිමු.
ඉෂාරා රත්නායක - අනුරාධපුරය

Comments

Popular posts from this blog

ජාත්‍යන්තර මව් භාෂා දිනය

වසර 200ක් සපිරීම නව උදාවක් වන්නේ කෙසේද?

අපි සැවොම යුද්ධයේ පරාජිතයින් ය!