ලෝක කාන්තා දිනය

ද (මාර්තු 8) ලෝක කාන්තා දිනය යි. මේ වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව “නායකත්වය තුළ කාන්තාවන් : කොවිඩ්-19 ලෝකය තුළ සමානාත්මතාවයෙන් යුත් අනාගතයක් අත්කර ගැනීම” (Women in leadership: Achieving an equal future in a COVID-19 world”) වේ. කොවිඩ්-19 වසංගතය තුළ සමානාත්මතාව උදෙසා ලොව පුරා අරගල කරන සුවහසක් කාන්තාවක් ඇගයීම මෙවර දිනයේ අරමුණ යි. 

කාන්තාවන් සඳහා විශේෂ දිනයක් සැමරිය යුතු බව මුලින්ම යෝජනා වූයේ 1910 ජාත්‍යන්තර සමාජවාදී කාන්තා සමුළුවේ දී ය. 1917 දී සෝවියට් රුසියාවේ කාන්තාවන් ඡන්ද බලය ලබා ගැනීමෙන් පසු මාර්තු 8 වෙනිදා එරට ජාතික නිවාඩු දිනයක් බවට පත්විය. මුල් කාලීනව ලෝකයේ කාන්තා දිනය ප්‍රධාන වශයෙන් සමරනු ලැබුවේ සමාජවාදී ව්‍යාපාරය සහ කොමියුනිස්ට් රටවල් විසිනි. 1967 පමණ වන විට ස්ත්‍රීවාදී ව්‍යාපාරය විසින් කාන්තා දිනය සමරනු ලැබීය. 1977 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව මෙම විශේෂ දිනය සමරනු ලබයි. 


කාන්තා සහභාගීත්වය සහ නායකත්වය ලෝකයේ සැම කටයුත්තක්ම සාර්ථක වීම සඳහා බලපෑව ද, තවමත් තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තාවන් නියෝජනය වීම අවම මට්ටමක පවතී. ලෝකයේ රටවල් 22ක රාජ්‍ය නායකත්වය දරන්නේ කාන්තාවන් විසිනි. නමුත් සමස්ථයක් වශයෙන් ලෝකයේ පාර්ලිමේන්තු සභිකයින් අතර කාන්තා නියෝජනය 24.9% ක් වේ.වර්තමානය වන විට පවතින ප්‍රගතියේ අනුපාතය අනුව රාජ්‍ය නායකත්වය දැරීම තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ස්ථාපිත වීමට තවත් වසර 130 ක් ගතවනු ඇත.


සෞඛ්‍ය සේවකයින්, විද්‍යාඥයින්, වෛද්‍යවරු ආදී ලෙස කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කරන මූලිකයින් අතර කාන්තාවන් ද සිටියි. එහෙත් සමස්ථ වශයෙන් ගෝලීයව ඔවුන් වේතන ලබන්නේ අදාළ ක්ෂ්‍රේත්වල පුරුෂයින්ට වඩා 11% ක් අඩුවෙනි. ලෝකයේ රටවල් 87ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ කොවිඩ්-19 කාලය තුළ එම ක්ෂ්‍රේත්‍රවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පැවත ඇත්තේ 3.5% ක් පමණක් බව යි. ලෝකය පුරා සමාජ යුක්තිය, දේශගුණික විපර්යාසය, සමානාත්මතාවය උදෙසා වන සමාජ ව්‍යාපාරවල මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ විශේෂයෙන් තරුණියන් වේ. එහෙත් ලෝකය පුරා පාර්ලිමේන්තු නියෝජනයෙන් වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් සිටින්නේ 1% ටත් අඩු ප්‍රතිශතයකි.  


ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින්ගෙන් 56% ක් කාන්තාවන් වන නමුත්, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5% ක් තරම් අවම ප්‍රමාණයකි. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් මුහුණ දෙන ගැටලු අතර ගෘහස්ථ හිංසනය, ලිංගික හිරිහැර, ළමා විවාහ, අනවශ්‍ය ගැබ් ගැනීම් සහ විරැකියාව ඉහළ මට්ටමක පවතී. විදේශ ශ්‍රමිකයින්, ඇඟලුම් සේවිකාව, වතු කම්කරුවන් ආදි ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය උසුලා සිටින්නේ කාන්තාවන් වේ. රැකියාවට අමතරව ගේ දොර වැඩ, දරුවන් රැකබලා ගැනීම, ඉවුම් පිහුම් කිරීම ආදි කාන්තාවන් විසින් කරනු ලබන අත්‍යවශ්‍ය කටයුතු ශ්‍රමය වැගිරීම් ලෙස ශ්‍රී ලංකාව වැනි රටවල සලකනු ලබන්නේ නැත. ඒ නිසා එදිනෙදා සමාජයේ පහත් කොට සැලකීමේ සිට වේතන සමානව නොලැබීම දක්වා දහසකුත් එකක් අසාධාරණයන්ට ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දේ. 


අද වන විට ජාත්‍යන්තර කාන්තා දිනය ඇෆ්ගනිස්ථානය, කාම්බෝජය, කියුබාව, නේපාලය, උගන්ඩාව, වියට්නාමය ආදි රටවල පොදු නිවාඩු දිනයක් බවට පත් කර ඇති අතරම, ලෝකයේ ඇතැම් තැනක කිසිසේත් අවධානය යොමු නොකරන දිනයක් ලෙස ද පවතී. සමහර රටවල එය සමානාත්මතාවය උදෙසා උද්ගෝෂණය කරන දිනයකි. සමහර රටවල කාන්තා දිනය යනු ස්ත්‍රීත්වය අගයනු ලබන දිනය යි.


ලෝකයේ කාන්තාවන්ට ප්‍රචණ්ඩත්වයෙන් තොර, තිරසාර, සාමකාමී, සමාන අයිතිවාසිකම් සහ අවස්ථාවන් සහිත අනාගතයකට අයිතිය ඇත. ලෝකය බිහි වෙන්නේත් පවතින්නේත් කාන්තාවන් නිසයි. කාන්තා දිනයට පමණක් කාන්තාවන්  විශේෂ නොකොට, ඔබට එදිනෙදා හමුවන කාන්තාවන්ට මනුෂ්‍යයෙකුට හිමි ගෞරවය ලබා දෙන්න. 


මූලාශ්‍ර - https://www.unwomen.org/en 

     https://thediplomat.com/2020/09/women-in-sri-lanka-make-up-56-of-voters-but-only-5-of-legislators/ 


Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

உலக சமாதான தினம்