වාර්ගිකත්වය මත වෙනස් කොට සැලකීම් තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය


මාර්තු 21 වනදා වාර්ගිකත්වය මත වෙනස් කොට සැලකීම් තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය යි (International day for the elimination of racial discrimination). 1960 වසරේ මාර්තු 21 වන දින දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී නීතීන්ට එරෙහිව සාමකාමි උද්ගෝෂණවල නිරත වූ පුද්ගලයින් 69 ක් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීම පදනම් කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1966 වසරේ සිට මෙම දිනය සමරනු ලබයි. පසු කාලීනව ජාතිවාදයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා වාර්ගිකත්වය මත වෙනස් කොට සැලකීම් තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ඇති කරගන්නා ලදී. ශ්‍රී ලංකාව විසින් 1982 දී එම සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් ලෙස අත්සන් තබන ලදී.  සම්මුතිය මේ වන විට ලෝකයේ සැම රටක් විසින්ම පාහේ අපරානුමත කර තිබුණද, තවමත් ලෝකයේ සැම තැනකම පුද්ගලයින්, සමාජ කණ්ඩායම් ජාතිවාදය නිසා වන අසාධාරණයන්ට හා අයුක්තීන්ට මුහුණ දෙමින් සිටිති.


තවමත් බොහෝ රටවල ආර්ථික, සමාජීය හා දේශපාලන ව්‍යුහ තුළ වාර්ගිකත්වය මත වෙනස් කොට සැලකීම ගැඹුරින් කාවැදී ඇති අතර ඒ හේතුවෙන් විවිධ ගැටුම් සහ සිවිල් යුද්ධ ඇති වී ඇත. වාර්ගිකත්වය මත වෙනස් කොට සැලකීම් තුරන් කිරීමට නම්  ආණ්ඩු විසින් ජාතිවාදයට එරෙහිව පුළුල් හා පැහැදිලි ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු ය. 


ශ්‍රී ලංකාව තුළ නිදහස ලබා ගැනීමෙන් පසුව සිට ජාතිවාදි ප්‍රචණ්ඩත්වය ඇතුළුව වාර්ගික සුළුතර කණ්ඩායම්වලට එරෙහි නෛතික, දේශපාලනික, ආර්ථික වෙනස්කොට සැලකීම් සිදු වෙමින් පවතී. යටත් විජිත භාවයෙන් මිදුණු විගසම ශ්‍රී ලංකා රජය විසින් පුරවැසි පනත සම්මත කළ අතර එමඟින් කඳුකර ඉන්දීය දෙමළ ප්‍රජාවගේ පුරවැසිභාවය අහෝසි කරන ලදී. 1956 සිංහල පමණයි පනත හරහා සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කරන ලදී. උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවා අධිකරණ කටයුතු අනිවාර්යෙන්ම සිංහල භාෂාවෙන් පමණක් සිදු කළ යුතු බවට නීති සම්මත කරන ලදී. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කර බුද්ධාගමට පමණක් ප්‍රමුඛස්ථානය ලබා දෙන ලදී. දමිළ භාෂාවෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම සඳහා අපහසු වන පරිදි ප්‍රතිපත්ති සකස් කරන ලදී. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ද සිංහල භාෂාවට සහ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන ලදී. 1983 කළු ජූලි සංහාරයෙන් දෙමළ ජනයා මරා දැමුණු අතර ඔවුන්ගේ දේපල කොල්ලකන ලදී. තවත් දීර්ඝව ලැයිස්තු ගත කළ හැකි මෙම සිද්ධි දාමය අදාළ කාලවල බලයේ තිබූ රජයන්ගේ අනුග්‍රහයෙන් සිදු වූ ඒවා වේ. වාර්ගිකත්වය නිසා වෙනස්කොට සැලකීමට එරෙහි සාමකාමි විරෝධතා ගණනාවකින් පසුව සමහර දමිළ තරුණයින් සන්නද්ධ කැරලි සඳහා යොමු වූ අතර එමඟින් ආරම්භ වූ සිවිල් යුද්ධය දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවතුණි. කෙසේ නමුත් යුද්ධය නිම වීමෙන් පසුව හෝ එහි මූලයන්ට ආමන්ත්‍රණය කිරීමක් සිදු වී නොමැත. 


සිවිල් යුද්ධය පිළිබඳව විමර්ෂණය කිරීම සඳහා 2010 වසරේදී පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙහි දැක්වෙන්නේ  “ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට මූලික හේතුව වන්නේ දෙමළ ජනතාවගේ අව්‍යාජ දුක්ගැනවිලි විසඳීමට පත් වූ රජයන් අපොහොසත් වීමයි”  ලෙසයි.


වසර 30කට ආසන්න කාලයක් පුරා යුද්ධයේ ප්‍රචණ්ඩත්වයෙන් බැට කෑ ශ්‍රී ලාංකික සමාජය, ඉන් පසුව සාමයෙන් සුවපත් වනවා වෙනුවට තවත් සුළුතර කණ්ඩායම් ප්‍රචණ්ඩත්වයට ග්‍රහණය කරගන්නා ලදී. මුස්ලිම් ජනයා බොදුබල සේනාව වැනි අන්තවාදී කණ්ඩායම්වල මෙහෙය වීමෙන් දියත් වූ ප්‍රහාරයන්ට ගොදුරු විය. පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම මත පදනම්ව ඔවුන්ව වෙනස්කොට සැලකීමට ලක් කිරීම සමාජයේ සුලබ කරුණක් විය. ජනමාධ්‍ය මඟින් කටයුතු කරනු ලබන්නේ වාර්ගික කණ්ඩායම් අතර වෛරය ඇති වන පරිදි බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි ය.  යම් අපරාධයක් කළ බවට සැක කරන්නා සුළු ජාතිකයෙක් නම් ඔහුගේ/ඇයගේ වාර්ගික අනන්‍යතාව අන් සියලු කරුණකට වඩා ඉහළින් වාර්තා වේ. කොවිඩ් වසංගතය හේතුවෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ වාර්ගික අනන්‍යතාව පමණක් ජනමාධ්‍ය විසින් ඉස්මතු කර දක්වමින් එම ජනයා අපහසුතාවයට පත් වන පරිදි වාර්තා කරන ලදී. එසේම මුස්ලිම් ජනතාව විසින් සිංහල ජනතාව වඳ කිරීමෙන් විනාශ කිරීමට සැලසුම් කරන බවට ප්‍රචාර ගෙන ගියේ මාධ්‍ය විසිනි. කොවිඩ්-19 මෘතදේහ භූමදානයට එරෙහිව ඇති වූ විරෝධය තනිකරම ජාතිවාදය පදනම් කරගත් එකකි. මේ ක්‍රියා මඟින් පුද්ගලිකව හා කණ්ඩායම් වශයෙන් සුළුතර වාර්ගිකයින් කෙතරම් පීඩාවට පත් වී දැයි , එමඟින් ඇති කළ බරපතල සැකය හා වෛරය කෙසේ සුවපත් කරන්නදැයි රටක් ලෙස තවමත් අපිට සැලසුමක් හෝ ඒ වෙනුවෙන් වුවමනා කැප කිරීම හෝ නැත. 


ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතිය (CEDAW සම්මුතිය), ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ආදි වෙනස්කොට සැලකීම් පිටුදැකීම සඳහා වූ අන්තර්ජාතික සම්මුති රැසක පාර්ශවකාර රාජ්‍යය කි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12(2) ව්‍යවස්ථාවට අනුව වාර්ගිකත්වය, ආගම, භාෂාව, කුලය, ලිංගිකත්වය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ වෙනත් කරුණු මත කිසිම පුරවැසියෙක්ව වෙනස්කොට සැලකීම නොකළ යුතු ය. මේ අනුව වෙනස්කොට සැලකීමට ලක් නොවීමට සියලු දෙනාටම අයිතිවාසික් පවතී. 


කෙසේ වෙතත් කෙතරම් නෛතික ආවරණ තිබුණ ද එතෙක් මෙතෙක් සිදූ වූ වාර්ගිකත්වය මත වෙනස්කොට සලකනු ලැබීම් කිසිවකට යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාව සමත්ව නැත. විවිධ වාර්ගික අනන්‍යතාවන්ට ගරු කිරීමට ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවට රජයන් සිදු කර ඇත්තේ වෙනස් වාර්ගික අනන්‍යතා අතර වෛරය සැකය අවුලමින් නිමක් නැති ප්‍රචණ්ඩත්වයන්ට සමාජය ඇද දැමීම බව ඉතිහාසය කියවීමේ දී පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ රජයන් පාලන බලය ලබා ගැනීමටත් පවත්වාගෙන යාමටත් ශිෂ්ට ලෝකය විසින්  පිළිකුල්  කරන  ජාතිවාදය නැමති කරුණ භාවිතයට ගනී. 


2021 වසරේ වාර්ගිකත්වය මත වෙනස් කොට සැලකීම් තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර  දිනයේ තේමාව වන්නේ "ජාතිවාදයට එරෙහිව නැගී සිටින තරුණ ප්‍රජාව" යන්න යි. වාර්ගික වෙනස්කම් කිරීම්වලින් තොර සමාජයක් බිහි කිරීමට පෙර පරම්පරාවන් අසමත්ව ඇති බව ත්, වෙනස්කොට සැලකීම් ඔවුන් විසින් නඩත්තු කරමින් ඉදිරියට ගෙන යන බවත් පැහැදිලිව දැකිය හැක. මේ දිශානතිය වෙනස් කිරීමට හැකියාව ඇත්තේ තරුණ ප්‍රජාවට යි. තරුණයෙක්/ තරුණියක් ලෙස ඔබ ඒ අභියෝගය භාර ගෙන මේ ලෝකය වඩා යහපත් තැනක් කිරීමට සූදානම් ද?


විවිධ වාර්ගික අනන්‍යතා පැවතීම යථාර්ථය යි. එය පිළිගෙන එම විවිධත්වයට ගරු කිරීමෙන් තොරව ප්‍රචණ්ඩතාවෙන් මිදුණු සාමකාමි සමාජයක් බිහි වන්නේ නැත. ඔබ, ඔබගේ හිතවතෙක් සේම ඔබ පුද්ගලිකව නොදන්නා කවරෙකු වුව ඔහුගේ/ඇයගේ වාර්ගික අනන්‍යතාව හේතුවෙන් වෙනස්කොට සැලකීමට භාජනය වේ නම් නොපැකිලී ඊට එරෙහි වන්න.ආදරය, මනුෂ්‍යත්වය සහ සම අයිතිය වෙනුවෙන් නැගී සිටින්න!


Comments

Popular posts from this blog

ජාත්‍යන්තර මව් භාෂා දිනය

වසර 200ක් සපිරීම නව උදාවක් වන්නේ කෙසේද?

අපි සැවොම යුද්ධයේ පරාජිතයින් ය!