The Right to the Truth Day

 බරපතල මානව හිමිකම් උල්ලංගණය කිරීම් පිළිබඳ සත්‍ය දැනගැනීමට ඇති අයිතිය සඳහා සහ වින්දිතයින්ගේ ගෞරවය සඳහා වූ ජාත්‍යන්තර දිනය



ත්‍ය දැනගැනීම සඳහා ඇති අයිතිය ඉල්ලා සිටිනු ලබන්නේ බරපතල මානව හිමිකම් උල්ලංගණයන් සහ මානුෂවාදී නීතිය බරපතල ලෙස කඩවන අවස්ථාවලදී ය. නීතිවිරෝධීව මරණ දඬුවම ලැබූ, බලහත්කාරීව අතුරුදහන් කරනු ලැබූ, වධහිංසනයට ලක් වූ පුද්ගලයින්ට සිදු වූයේ කුමක්දැයි දැනගැනීමට ඔවුන්ගේ සමීපතමයින්ට අයිතිය ඇත. අදාළ සිදුවීම සිදු වූ ආකාරය, ඒ තුළ වූ විශේෂ තත්වයන්, ඒවා කවුරුන් විසින් සිදු කළේද යන්න, එසේ සිදු කළේ ඇයිද ආදි කරුණු පිළිබඳ පූර්ණ සත්‍ය දැනගැනීම මෙයට අයත් වේ. 

1980 වසරේ මාර්තු 24 දින මරා දමන ලද එල් සැල්වදෝරයේ මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචනය කළ ක්‍රියාකාරිකයෙක් වූ අගරදගුරු  Monsignor Romero ට ගෞරවය පල කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 24 වැනිදා "බරපතල මානව හිමිකම් උල්ලංගණය කිරීම් පිළිබඳ සත්‍ය දැනගැනීමට ඇති අයිතිය සඳහා සහ වින්දිතයින්ගේ ගෞරවය සඳහා වූ ජාත්‍යන්තර දිනය”  සමරනු ලබයි. 

මෙම දිනයේ අරමුණ වන්නේ බරපතල හා සංවිධානාත්මක මානව හිමිකම් උල්ලංගණය කිරීම්වල වින්දිතයින්ව සිහි කිරීම, සත්‍ය දැනගැනීම හා යුක්තිය ඉටු කිරීම කෙතරම් වැදගත්ද යන්න ප්‍රවර්ධනය කිරීම සහ  සියලු දෙනා වෙනුවෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා අරගල කිරීම නිසා සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූ ක්‍රියාධරයින්ට ආචාර කිරීම යි. 

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් 1971 සහ 1988-89 තරුණ කැරැලි, 1983 ජූලි කලබල, සිවිල් යුද්ධය, මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරින් ඝාතනය, අතුරුදහන් කිරීම සහ පහර දීම,  2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ඇතුළු විවිධ අභ්‍යන්තර ගැටුම් හා ප්‍රචණ්ඩතාවන්ගෙන් බැට කෑ රටකි. ජවිපෙ කැරලි දෙකේ දී හා සිවිල් යුද්ධයේ දහස් ගණනක් අතුරුදහන් කිරීමට ලක් වී ඇත. ජාත්‍යන්තර ගණන් බැලීම් අනුව ශ්‍රී ලංකාව ලොව වැඩිම බලහත්කාරි අතුරුදහන් කිරීම් සිදු වූ රටකි. 1980 දශකයේ සිට 60,000 ත් 100,000 ත් අතර පිරිසක් අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ. එතරම් බරපතල තත්වයක් පැවතියද කිසිදු අවස්ථාවක දී නිවැරදි විමර්ෂණ පවත්වා සත්‍ය හෙළි කිරීමට ශ්‍රී ලංකාව සමත්ව නැත. ඒ කෙරෙහි වන වුවමනාවක් හෝ දේශපාලන කැප කිරීමක් ද පෙන්වා නැත. 

කෙසේ වෙතත් එදා මෙදා තුර පත් වූ සෑම රජයක්ම සහ ජනාධිපතිවරයෙක්ම බලයට තරග කරන්නේ ඉතිහාසයේ වූ නොයෙක් සිදුවීම් පෙන්වා ඒවාට යුක්තිය ඉටු කරන බව පොරොන්දු වෙමිනි. වින්දිතයින්ගේ සමීපතමයින් සත්‍ය දැනගැනීමේ හා යුක්තිය ඉටු කරවා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ ඒ පුද්ගලයින් බලයට ගෙනෙන ලදී. එහෙත් සමහර අයුක්තීන් සිදු වී දින සති මාස අවුරුදු පමණක් නොව දශක ගණන් ගෙවී ගොසිනි. තම ආදරණීයයන් ගැන සත්‍ය දැනගැනීමට බලා සිටි සමහරු මිය ගොසිනි. තවමත් සත්‍ය දැනගැනීමට දිවා රෑ බලාපොරොත්තු සහගතව සිටින දහසකුත් ශ්‍රී ලාංකික පුරවැසියන් සිටී. සත්‍ය දැනගැනීමෙන් හා යුක්තිය ඉටු කිරීමෙන් තොරව ඉදිරියට යාමේ දී ඒ අවිශ්වාසයන් හා වේදනාවන් ඉතිහාසයේ කවරදාටත් වඩා බිහිසුණු ලෙසින් ඒවා පුපුරා යා හැක.


සත්‍ය දැනගැනීමට හා යුක්තිය ඉටු කරගැනීමට රාජ්‍යන් විසින්, සත්‍ය පිළිබඳ කොමිෂන් සභා, වින්දිතයින්ගේ සාක්ෂි එකතු කිරීම, අවශ්‍ය විද්‍යාත්මක සහ තාක්ෂණික හැකියාවෙන් යුත් ආයතන ආදියෙන් සමන්විත යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු ය. මේ කුඩා සුන්දර දිවයිනේ ප්‍රචණ්ඩත්වයේ තුවාල කිරීම් ශිෂ්ට ලෙස සුවපත් කරගන්නවා වෙනුවට, මේ කිසිවකට අවම අවධානයක් හෝ යොමු නොකර  ඒවා ප්‍රතික්ෂේප කරමින්  අපි පෙන්නුම් කරමින් සිටින්නේ අපි කෙතරම් පසුගාමි සමාජයක්ද යන්න  නොවෙද? 


මූලාශ්‍ර 

https://www.un.org/en/observances/right-to-truth-day

https://www.ohchr.org/EN/NewsEvents/Pages/DisplayNews.aspx?NewsID=25740&LangID=E 

https://www.amnesty.org/en/what-we-do/disappearances/ 


Comments

Popular posts from this blog

ජාත්‍යන්තර මව් භාෂා දිනය

වසර 200ක් සපිරීම නව උදාවක් වන්නේ කෙසේද?

අපි සැවොම යුද්ධයේ පරාජිතයින් ය!