1994 දී රුවන්ඩාවේ ටුට්සිවරුන්ට එරෙහි ජන සංහාරය ආවර්ජනය කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය


ක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2003 වසරේ සිට 1994 දී රුවන්ඩාවේ ටුට්සිවරුන්ට එරෙහි ජන සංහාරය ආවර්ජනය කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි. එවකට රුවන්ඩාවේ පාලන බලය හෙබ වූ අන්තවාදී හුටු ජාතිකයින් විසින් ටුට්සි නම් සුළු ජාතියට අයත් පුද්ගලයින් ඝාතනය කිරීම මෙම දිනය මඟින් සනිටුහන් කරයි. ජන සංහාරය ආරම්භ වුයේ 1994 අප්‍රේල් 6 වන දින හුටු ජනවර්ගයට අයත් එවකට රුවන්ඩාවේ ජනාධිපතිව මරා දැමීමෙනි. ජනාධිපතිව ඝාතනය කළේ කවුරුන් විසින්දැයි නිශ්චිතව නොදැන රජයේ හමුදා විසින් ටුට්සි ගරිල්ලා කණ්ඩායමක් වෙත වගකීම පවරන ලදී. ඉන් පසු අප්‍රේල් 7 වනදා ටුට්සි ජාතිකයින් ඝාතනය කිරීම ආරම්භ විය. 


ගුවන් විදුලිය මඟින් ටුට්සි ජාතිකයින් "කැරපොත්තන්" ලෙස දක්වා ඔවුන් මනුෂ්‍යයින් නොවන බවට හඟවමින් ඔවුන්ව සම්පුර්ණයෙන් විනශ කර දැමිය යුතු බවට ප්‍රචරය කරන ලදී. ජනගහනයෙන් 85% ක් වූ හුටු හමුදාව සහ සිවිල් ජනතාව විසින් ටුට්සි ජාතිකයින්ව වධහිංසා පමුණුවා මරා දැමූ අතර මිලියන දෙකක් පමණ ටුට්සි ජාතිකයින්ව පිටුවහල් කරන ලදී. ජන සංහාරයේදී දහස් ගණන් කාන්තාවන් ලිංගික අපරාධයන්ට ලක් විය, පවුල් කැඩී වෙන් විය, දරුවන් අනාථ විය. සංහාරය ආරම්භ වී පළමු දින 100 ඇතුළත ටුට්සි ජාතිකයින් මිලියනයකට වඩා සංවිධානාත්මකව ඝාතනය කළ බවට වාර්තා වේ. ටුට්සි ජාතිකයින් ඝාතනය කිරීමට එරෙහි වූ හා ඔවුන්ව ආරක්ෂා කළ හුටු ජාතිකයින්වද මෙම කාලය තුළ ඝාතනය කරන ලදී. 


එතරම් දරුණු සංහාරයක් සිදු වුවද මාස ගණනක් යන තුරු එවක ජාත්‍යන්තර ප්‍රජාව කිසිවක් කළේ නැත. 1994 ජූනි මසදී එක්සත් ජාතීන් විසින් ප්‍රංශ හමුදා රුවන්ඩාව වෙත යවා හුටු ජාතිකයින් පරාජයට පත් කර ජන සංහාරය නවත්වන ලදී.  ජන සංහාරය සිදුවන අවස්ථාවේ වහා ක්‍රියා කරන්නට අසමත් වීම පිළිබඳව පසු කලෙක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ප්‍රසිද්ධියේ සමාව අයදින ලදී. 


1994 නොවැම්බර් මස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් රුවන්ඩාවේ සිදු වූ අපරාධ විභාග කිරීම සඳහා අන්තර්ජාතික අපරාධ විනිශ්‍ය සබාවක් ස්ථාපිත කරන ලදී. සමූල ඝාතනය කිරීමේ වරද ස්ථාපිත කළ ලෝකයේ පළමු අන්තර්ජාතික අධිකරණය මෙය යි. 3000 කට වඩා වැඩි සාක්ෂිකරුවන් විසින් ලබා දුන් සාක්ෂි විභාග කිරීමෙන් අනතුරුව හමුදා අණදෙන නිලධාරීන්, සොල්දාදුවන්, ව්‍යාපාරිකයින්, මාධ්‍ය හිමිකරුවන් ඇතුළු පිරිසක් වරදකරුවන් වන බවට තීරණය කරන ලදී. මනුෂ්‍ය ඝාතනයට සහ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමේ වරදට මාධ්‍යවේදීන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දුන් ඉතිහාසයේ පළමු අවස්ථාව  මෙය යි.


රුවන්ඩාවේ ටුට්සි ජාතිකයින්ට එරෙහිව සිදු වූ ජන සංහාරය මනුෂ්‍යත්ව මත ඇති වූ කැළලක් වන අතර වෛරය නැවැත්වීමට අපි සියලු දෙනා එක්ව කටයුතු නොකළහොත් මානව සංහතිය කෙතරම් ඛේදවාචකයන් වෙත ගමන් කළ හැකිද යන්නට නිදසුනක් වේ. දීර්ඝ කාලීන් සිවිල් යුද්ධය තුළ ඇති වූ 1983 කළු ජූලි සංහාරය ආදි විවිධ අත්දැකීම් ඇති ජන සමාජයක් ලෙස අපට රුවන්ඩාව සංහිඳියාව තුළින් සමාජය නැවත ගොඩනැගීමට ක්‍රියා කළ අයුරු වැදගත් වේ. සමාව ගැනීමෙන් සහ සමාව දීමෙන් යුක්තිය ඉටු කර ගැනීමට අපේ රටට ද හැකියාව ඇත.


Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

உலக சமாதான தினம்