අපි සැවොම යුද්ධයේ පරාජිතයින් ය!



ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය නිමා වී අදට (මැයි 18) වසර 12 ක් සපිරේ. යුද්ධයක් යනු ජන සමාජයක් විනාශයට ඇද දමන මහා ඛේදවාචකයකි. එම නිසා විශේෂයෙන්ම රටක අභ්‍යන්තර යුද්ධයක් පිළිබඳ "ජයග්‍රහණය" ගැන කතා කිරීමම අර්ථ විරහිත වේ. එම නිසා යුද්ධයක් අවසන් වීමෙන් පසු ප්‍රගතිශීලි ජන සමාජයක් පළමුව කළ යුත්තේ "අපිට මේ සා මිනිස් ජීවිත ගණනක් අහිමි වන්නට හේතු වූයේ කුමක්ද" කියා විමසා සිටීම වේ. විශාල සිවිල් යුද්ධවලින් බැට කා පසුව සාමය හා සංහිඳියාව ස්ථාපිත කළ රටවල් කළේ, මේ ප්‍රශ්නය තමන්ගෙන් අසා ගනිමින් අතීත හදාරා, වර්තමානය තේරුම් ගනිමින් වඩා යහපත් අනාගතයක් සඳහා කටයුතු කිරීම යි. ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ මූල හේතු ගැන මැදිහත් මනසකින් අවබෝධ කර ගැනීම ශ්‍රී ලංකාවේ යථාර්තය හඳුනා ගැනීමට ඔබට ඉවහල් වනු ඇත.  

1948 දී බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව වෙනස් අනන්‍යතා සහිත ජන කණ්ඩායම් ජීවත් වූ ශ්‍රී ලංකාව තුළ එම විවිධතා ඉස්මතු වී පෙනෙන්නට විය. එවක පාලකයින් විසින් සියලු දෙනා අන්තර් ග්‍රහණය කරගත් ආණ්ඩුකරණයක් වෙනුවට රටේ ජීවත් වූ බහුතර ජන කණ්ඩායම වූ සිංහල ජනතාව පමණක් මූලික කරගෙන රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන ලදී. දීර්ඝ කාලීන යුද්ධයකටත්, ඉන් පසුව පවා නොනවතින විවිධ ගැටුම්වලටත් මුල් වූයේ මෙසේ සියලු දෙනා එක් කර ගැනීමේ ප්‍රතිපත්තියෙන් බැහැර වීමයි.  . 


නිදහසින් පසුව ද රාජ්‍ය භාෂාව ලෙස පැවතියේ ඉංග්‍රීසි භාෂාවයි. රටේ ජනතාවගෙන් අතිමහත් බහුතරයකට පිටස්තර භාෂාවකින් රාජ්‍ය පාලන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස "ස්ව-භාෂා" ව්‍යාපාරය නැගී ආවද, අවසන එය ස්ථානගත වූයේ 1956 දී  සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරමිනි. පාර්ලිමේන්තුවෙන් පිටත පනතට සාමකාමීව විරෝධය දැක්වූ ද්‍රවිඩයන්ට රජය විසින්  සිංහල මැර කල්ලි යොදවා පහර දෙන ලදී.  සිංහල පමණයි පනතට එරෙහිව රට පුරා දමිළ ජනයාගෙන් විරුද්ධතා පැන නැගුණි. ඒ අනුව දමිළ භාෂාව උතුරු නැගෙනහිර පරිපාලන භාෂාව වශයෙන් පිළිගැනීම, පුරවැසි පනත සංශෝධනය කිරීම ඇතුළු එකඟතාවන් ඇතුළත්  බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම 1957 දී අත්සන් කරන ලදී. නමුත් මෙම ගිවිසුමට එරෙහිව බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ කණ්ඩායම්වලින් විශාල විරෝධයක් එල්ල වූ අතර අගමැති බණ්ඩාරනායක සිය විරුද්ධවාදීන්ට එකඟ වී ගිවිසුම බෞද්ධ භික්ෂූන් ඉදිරියේ ඉරා දැමීය. 


භාෂාව බොහෝ දුරට සංස්කෘතිය අර්ථ දක්වයි. එසේම සමාජ-ආර්ථික අවස්ථාව හිමිවීම තීරණය වන්නේ ද එමඟිනි. සිංහල එකම රාජ්‍ය භාෂාව බවට පත් කිරීම තමන්ගේ සංස්කෘතිය තුළ කටයුතු කිරීමට ද්‍රවිඩයන්ට ඇති අයිතියට අභියෝගයක් වූවා පමණක් නොව, අධ්‍යාපන හා රැකියා කටයුතු ආදී ඔවුන්ගේ ආර්ථික හා සමාජීය සාර්ථකත්වයට අහිතකර ලෙස බලපාන ලදී. 


අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩු දෙකේ (1960-65 සහ 1970-77) අනුගමනය කළ ජනවාර්ගික-කේන්ද්‍රවාදී ප්‍රතිපත්ති තවදුරටත් බහුත්වවාදයට පිටුපාන ලදී. දෙමළ ජනයා බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර පවා අධිකරණ පද්ධතියට සිංහල පමණක් අදාළ විය. උසස්වීම් ලබා ගැනීම සඳහා දෙමළ සිවිල් සේවකයන්ට සිංහල ඉගෙන ගැනීමට බල කෙරුනි. ද්‍රවිඩ භාෂාව කතා නොකරන රාජ්‍ය සේවකයින්ව භාෂාමය ආධිපත්‍යය රැක ගැනීමේ මාර්ගයක් ලෙස දෙමළ කතා කරන ජනයා වෙසෙන ප්‍රදේශවල රඳවන ලදී. සාමකාමී දෙමළ විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් 1961 දී හමුදාව උතුරු පළාතේ ස්ථානගත කරන ලදී. 


1965 දී අත්සන් කරන ලද ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමෙහි ප්‍රධාන ඉල්ලීම වූයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල දමිළ භාෂාවෙන් කටයුතු කිරීමට ඉඩ දීමයි. එම විධි විධාන ඇතුළත් දෙමළ භාෂා විධි විධාන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට, විශාල විරෝධයක් මතු වීමත් සමග මෙම අවම ඉල්ලීම්වලට හෝ කන් නොදී 1966 දී ඩඩ්ලි සේනානායක විසින් ගිවිසුම ඉවත දමන ලදී. 


1972 දී, පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනයාගෙන් කිසිදු අදහස් විමසීමකින් තොරව, සිංහල රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කර බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන ලදී. දෙමළ භාෂාවට සමතැන දීම, දමිළ සිසුන්ගේ අධ්‍යාපන මාධ්‍ය ලෙස දමිළ භාෂාව පිළිගැනීම ආදි ද්‍රවිඩ පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා සලකා බැලීමකින් තොරව ඉවත දමන ලදී. විශ්ව විද්‍යාල පද්ධතියේ ග්‍රාමීය සිංහල සිසුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා කෝටා හඳුන්වා දෙන ලදී. දෙමළ සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුළුවීම සඳහා ඉහළ ලකුණු ලබා ගත යුතු විය.  රජයට එරෙහිව කිසිදු සන්නද්ධ ප්‍රතිරෝධයක් නොතිබියදී වුවද, රජයේ සිංහල පමණයි ප්‍රතිපත්තියට එරෙහිව සාමකාමි සත්‍යග්‍රහයන්හි නිරත වූ ජනයාව ආණ්ඩුව විසින් මර්දනය කරන ලදී.


දමිළ කතා කරන ජනතාව විසින් සිය අයිතිවාසිකම් දිනා ගැනීමට කළ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රයත්න සියල්ලක්ම මර්දනයට හා නොසලකා හැරීමට ලක් කිරීමේ ප්‍රතිඵලය වූයේ, වෙනම රාජ්‍යක් බිහි කරගැනීමේ අදහස දෙමළ ජනයා අතර මතු වීම යි. මීට පෙර පැවති මැතිවරණවලදී වෙනම රාජ්‍යක් පිළිබඳ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් තරග කළ ද්‍රවිඩ අපේෂකයින් පරාජයට පත් වුව ද, 1977 මැතිවරණයේ දී දමිළ ජනයා විසින් එම අදහස දිනවන ලදී. 


1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ද සිංහල භාෂාවට හා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන ලදී. රජය විසින් සම්මත කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළ බවට සැක කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන, නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීමට ආරක්ෂක හමුදාවන්ට අවසර දෙන ලදී. අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා අරගල කළ දමිළ තරුණයින් මර්දනය කිරීම මෙම පනත යටතේ සිදු විය. 


1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේ දී  දුර්ලභ අත් පිටපත් රාශියක් ඇතුළුව වෙළුම් 95,000 ක එකතුවක් තිබුණු සුප්‍රසිද්ධ යාපනය මහජන පුස්තකාලය ආණ්ඩුවේ සිංහල ජාතිවාදී මැර කල්ලි විසින් ගිනි තබා විනාශ කරන ලදී. 


1983 ජූලි මස යාපනයේදී හමුදා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය වීමෙන් පසු රාජ්‍ය අනුග්‍රහය සහිතව දකුණේ දමිළ ජනයාට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරින ලදී. සංවිධානාත්මකව දමිළ ජනයාගේ නිවාස දේපල මංකොල්ල කමින්, දමිළ ජනයා ඝාතනය කරන ලදී. මෙම සංහාරය නිසා දකුණේ ජීවත් වූ දෙමළ ජනයා උතුරු නැගෙනහිරට පලා ගිය අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් 1970 දශකයේ මුල් භාගයේ සිට පිහිටුවන ලද විවිධ කැරලිකාර කණ්ඩායම්වලට සම්බන්ධ වූහ. දහස් ගණනක්  දිවයිනෙන් පලා ගිය අතර, දෙමළ ඩයස්පෝරාව ලෙස හැඳින්වෙන්නේ ඔවුන් ය. මෙසේ සිදු වූ බහුත්වවාදයෙන් ඈත් වීම ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පෝෂණය  කළ අතර එය වසර 27 ක් පැවතුනි.


2009 වසරේ දී සිවිල් යුද්ධය නිමා වීමෙන් පසුව උතුරු නැගෙනහිර පිහිටුවා තිබූ හමුදා කඳවුරු සහ අධි ආරක්‍ෂිත කලාප සඳහා පවරාගෙන තිබූ ඉඩම් ආපසු ලබා දෙනවා වෙනුවට, එවක රජය විසින් තව තවත් හමුදා කඳවුරු ද, මිලිටරි පරිපාලන හෝටල් ද ඉදි කළේය. උතුරු නැගෙනහිර දමිළ ජනයාගේ සොහොන් විනාශ කර ඒ මත හමුදා බැරැක්ක ඉදි කරන ලදී. ජාතික ගීය දමිළ බසින් ගැයීම නවත්වන ලදී. සියලු තැන්හි යුද්ධයේ බියකරු වේදනා සිහිගන්වන යුධ ස්මාරක ඉදි විය. බෞද්ධයින් නැති තැන්වල බෞද්ධ පන්සල් ඉදි කර, සිංහල ජනයා පදිංචි කරන ලදී. යුද්ධය නිමා වීමෙන් පසුව රජය ක්‍රියා කළ ආකාරය දෙස බැලූ විට  සාමකාමී ප්‍රජාතන්ත්‍රීය රටක් බිහි කිරීමට පාලකයින්ට අවශ්‍ය වූයේ දැයි සැක මතු වේ. 


යුද්ධය නිම වී වසර 12 ක් ගත වන විටත් උතුරු නැගෙනහිර ජනයා යුද්ධයේදී සහ ඉන් පසුව ආරක්ෂක හමුදා භාරයේ සිටි පුද්ගලයින් අතුරුදහන් වීම පිළිබඳව සත්‍ය සහ යුක්තිය සොයා වෙහෙසෙති. මිය ගිය සිය ආදරණීයයන් ස්මරණය කිරීමට එරෙහි රජයේ එදිරිවාදිකම්වලට මුහුණ දෙති. බලහත්කාරයෙන් උදුරා ගත් සිය ඉඩකඩම් නැවත ලැබෙන තුරු අරගල කරති. 


සිවිල් යුද්ධය පිළිබඳව විමර්ෂණය කිරීම සඳහා 2010 වසරේදී පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙහි දැක්වෙන්නේ  “ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට මූලික හේතුව වන්නේ දෙමළ ජනතාවගේ අව්‍යාජ දුක්ගැනවිලි විසඳීමට පත් වූ රජයන් අපොහොසත් වීමයි”  ලෙසයි. 


දෙමළ කතා කරන ජන කණ්ඩායම්වල සාධාරණ ඉල්ලීම් මුල් කරගෙන පසුගියදා පැවති දින පහක විරෝධතා පා ගමන ගැන බොහෝ සිංහල කතා කරන්නන්ගේ ප්‍රශ්නය වන්නේ "සුළු ජාතීන්ට ඇති ප්‍රශ්නය මොකක්ද?" යන්න යි. ප්‍රගතිශීලි යැයි කියාගන්නා ඇතැම් දේශපාලන ව්‍යාපාර ද තවමත් කියමින් සිටින්නේ සුළුතර කණ්ඩායම්වලට සුළුතර වීම නිසාම ඇතිවන සුවිශේෂි ප්‍රශ්න නැති බව යි. 

ශ්‍රී ලංකාවට දිගු කල් පවතින සාමය සහ සංහිඳියාව ළඟා කර ගැනීමට සැබවින්ම අවශ්‍ය නම් සියල්ලට පෙර, මෙරට සිදු වූ සහ සිදුවෙමින් පවතින ගැටුම්වලට හේතුව විවිධත්වය පිළි ගැනීම සහ ඊට ගරු කිරීම පිළිනොපැදීම බව පිළිගත යුතු ය. එහිදී සුළුතර කණ්ඩායම්වලට සිදු වූ සමාජ ආසාධාරණයන්ගේ යථාවන් පිළිගැනීම ද මග හැර යා නොහැක.  

ශ්‍රී ලංකාවට අත් වී ඇති ඉරණමට හේතුව අපේ රට බහුසංස්කෘතික රටක් යන යථාව නොපිළිගෙන එය මග හැර යාම යි. දැන් යුද්ධයක් නොපැවතිය ද පවතින්නේ සාමය ද නොවේ. විටින් විට පුපුරා යන ආතතීන් ඊට සාක්ෂි වේ. ගමනේ දිශානතිය වෙනස් කිරීමට සහ එමඟින් වාර්ගික-ආගමික හා සංස්කෘතික සබඳතා පාලනය කිරීමට ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන් තිබුණි. ආණ්ඩුවලට බහුත්වවාදී ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කළ හැකි වුවද, එය සිදු කරන්නේ දැන් ක්‍රියාත්මක වන බහුතරවාදයට තර්ජනයක් නොවන ආකාරවලින් පමණි. දශක තුනකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය සහ පශ්චාත් ගැටුම් සහ ප්‍රවර්ධනය කළ බහුතරවාදී මානසිකත්වය හේතුවෙන් ද බහුත්වවාදය වැලඳ ගැනීම ශ්‍රී ලංකාවට  පහසු නොවනු ඇත. 


යුද්ධයක් යනු අපි සමාජයක් ලෙස පශ්චාත්තාප විය යුතු දෙයකි. සමාජයක් ලෙස අපේ නොහැකියාව නිසා පුපුරා ගිය ඛේදවාචකයක ගොදුරු වන්නට සිදු වූ සෑම ජන වර්ගයකටම අයත් අපේ ආදරණීයයින් ස්මරණය කිරීමට අපි මේ දිනය යොදා ගනිමු. අපිට වුවමනා වන්නේ සැබෑ සංහිඳියාවක් නම්, යුද්ධය නම් වන මහා ඛේදවාචයකේ ජයක් ගැන උදම් අනනු වෙනුවට ආදරයෙන් සහ අවබෝධයෙන් යුතුව වැඩ කරමු. මන්ද අපි සැවොම යුද්ධයේ පරාජිතයින් වන බැවිනි.


Comments

Post a Comment

Popular posts from this blog

ජාත්‍යන්තර මව් භාෂා දිනය

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?