1983 කළු ජූලිය


ළු ජූලිය යනුවෙන් හැඳින්වෙන්නේ 1983 වසරේ ජූලි මස 24 වනදා සිට 29 වනදා දක්වා ශ්‍රී ලංකාව පුරා ඇති වූ දමිළ-විරෝධි ප්‍රචණ්ඩතා වේ. සිංහල ප්‍රචණ්ඩකරුවන් විසින් දමිළ ජනයාගේ නිවාස, ව්‍යාපර ස්ථාන ගිනි තබමින්, දේපල විනාශ කරමින් සහ වස්තුව කොල්ලකමින්, මිනිසුන් ඝාතනය කරමින් ප්‍රචණ්ඩත්වය පැතිරූහ. මෙහිදී දමිළ ජනයා 400 - 3000 ත් අතර ගණනක් ඝාතනය වූ බවට ගණන් බලා තිබේ. 150,000 ක දමිල ජනයා අවතැන් භාවයට පත් විය. දමිළ ජනයා විශාල වශයෙන් විදේශ රටවල් වෙත ගිය අතර, උතුරට පලා ගිය බොහෝ තරුණයින් දමිළ ජනයාට එරෙහි රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට විරුද්ධව ගොඩනැගී තිබූ සන්නද්ධ ව්‍යාපරවලට බැඳුනහ. 


ශ්‍රී ලංකාවේ පත් වූ රජයන් විසින් දමිළ කතා කරන ජනයාට එරෙහි රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ නොසළකා හැරීම දීර්ඝ කාලයක් මුලුල්ලේ අඛණ්ඩව පවත්වා ගෙන යන ලදී. දමිළ ජනයාගේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට සාමකාමී සත්‍යගහයන්ගේ සිට, අවි භාවිතයෙන් තොරව විසඳුමක් නොලැබේය යන තැනට තල්ලු වන්නට හේතු වූයේ එයයි. 


1983 ජූලි 23 වන දින L.T.T.E. සංවිධානය විසින් යාපනයේ තිරුනල්වේලි හි දී හමුදාව වෙත එල්ල කළ පහරකින් හමුදා සමාජිකයින් පිරිසක් මිය යන ලදී. හමුදා සාමාජිකයින්ගේ මෘතදේහ කොළඹට ගෙන ඒමෙන් පසුව රට පුරා දමිළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩතා ඇති විය. නමුත් දමිළ ජනයාට එරෙහි රාජ්‍ය නොසලකා හැරීම් සහ දේශපාලනිකව මර්දනය කිරීම 1983ට පෙර දිගු ඉතිහාසයක සිට සිදු වෙමින් පැවතුණි. '83 ජූලි මාසය එකී මර්දනය සහ නොසලකා හැරීම ව්‍යාප්ත කළ එක් අවස්ථාවක් විය. හමුදා සාමාජිකයින් සහ සන්නද්ධ කණ්ඩායමක් අතර ඇති වූ ගැටුමකට සාමාන්‍ය සිවිල් ජනයාගෙන් පළිගැනීම ශිෂ්ට සමාජයක් අනුමත කරන්නේ නැත. ජූලි 24 වනදා හමුදාව විසින් තිරුනල්වේලි හි කඩ සාප්පු විනාශ කළ අතර, සිවිල් වැසියන් 51 දෙනෙක් ඝාතනය කරන ලදී. 


මැර කල්ලි විසින් දමිළ ජනයාට අයත් නිවාස හා ව්‍යාපාර ගිනි තබමින්, දේපල මංකොල්ලකමින්, දෙමළ ජනයා ඝාතනය කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා දින 5ක් පුරා පැවතුණි. වැලිකඩ බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාරවල දමිළ රැඳවියන් විශාල ගණනක් ඝාතනය විය. ජනපති ජයවර්ධන විසින් ඇඳිරි නීතිය පනවා තිබුණ ද පොලිසියේ හා හමුදාවේ අනුග්‍රහයෙන් ප්‍රචණ්ඩතා අඛණ්ඩව පැවතුණි. 


ජූලි 28 වනදා ජාතිය ඇමතූ ජනපති සිය අයිතිවාසිකම් උදෙසා අරගල කිරීමට ආරම්භ කළ දමිළ ජනයා සිදු වූ දේට වගකිව යුතු බවත්, සිංහල ජනයා ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත් කියමින් ප්‍රචණ්ඩතා සාධාරණීකරණය කළේය. ප්‍රචණ්ඩතා ඇති කළ බවට චෝදනා නගමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා නව සම සමාජ පක්ෂය තහනම් කරන ලදී. 


පසු කාලීන පත් වූ රජයක් විසින් 1983 ප්‍රචණ්ඩතා පිළිබඳ විමර්ෂණය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ ද, වින්දිතයින්ට වන්දි ගෙවීමක් හෝ ඝාතකයින් හා වරදකරුවන්ට එරෙහි නෛතික ක්‍රියාමාර්ග ගැනීමක් මෙතෙක් සිදු වී නැත. 


ශ්‍රී ලංකාව තුළ සුළු වාර්ගික කණ්ඩායම්වලට එරෙහි ප්‍රචණ්ඩතා 1983 කළු ජූලි සංහාරයෙන් පසුව අවසන් වූයේ නැත. සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව මුස්ලිම් ජනයාට එරෙහිව අවස්ථා ගණනාවක දී ප්‍රචණ්ඩතා සිදු වූ අතර ඒ කිසිදු වරදකරුවෙකු නීතිය ඉදිරියට ගෙන ඒමට පැවති රජයන් උත්සහා කළේ නැත. 


1983 කළු ජූලි සංහාරයට අදට 38 වසරකි. අපේ සංස්කෘතීන්ට, අපේ ආගම්වලට, අපේ අධ්‍යාපනයට අපව ප්‍රචණ්ඩත්වයෙන් තොර මාවතකට හුරු කරන්නට නොහැකිව ඇත්තේ ඇයිදැයි අපි අද කල්පනා කරමු. නැවත මෙවන් වේදනාකාරී දේ සිදු නොවේවා යි ප්‍රාර්ථනා කිරීමෙන් ඵලක් නොවේ. අපි ඒ වෙනුවෙන් වැඩ කරමු. අනෙකාට ගරු කරමු.  


Act Now 

24/07/2021


මූලාශ්‍ර -


http://news.bbc.co.uk/2/hi/south_asia/3090111.stm 

http://news.bbc.co.uk/2/hi/south_asia/7521197.stm

Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

உலக சமாதான தினம்