බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට ලක් වූවන් සඳහා වූ ජාත්‍යන්තර දිනය
අද බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට ලක් වූවන් සඳහා වූ ජාත්‍යන්තර දිනය (International day of the victims of enforced disappearances) යි. 2010 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලොව පුර සිදුවන බලහත්කාරී අතුරුදහන් කිරීම් සහ අතුරුදන් කිරීම්හි සාක්ෂිකරුවන්ට සහ අතුරුදහන් වීමට ලක් වුවන්ගේ ඥාතීන්ට සිදුවන හිංසා කිරීම්, අමානුෂික සැලකීම්, භය ගැන්වීම් පිලිබඳ අවධානය යොමු කර අගෝස්තු 30 දිනය බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට ලක් වූවන් සඳහා වූ ජාත්‍යන්තර දිනය ලෙස සම්මත කරන ලදී.
බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සෑම පුද්ගලයෙක්ම ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියෙහි 2 වගන්තිය අනුව රාජ්‍ය විසින් අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, පැහැර ගැනීම හෝ වෙනත් ආකාරයක නිදහස අහිමි කිරීමක් සිදුකර, එසේ නිදහස අහිමි කිරීම හෝ අතුරුදහන් වූ තැනැත්තාට කුමක් වුයේද යන්න පිළිගැනීම ද ප්‍රතික්ෂේප කරනු ලබන සිදුවීම් බලහත්කාරී අතුරුදහන් කිරීම් ලෙස සැලකේ.
ජාත්‍යන්තර නීතියට අනුව බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක් කිරීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වන අතර, එම සිදුවීම් අපක්ෂපාතිව විමර්ශනය කර, වරදකරුවන් නීතිය ඉදිරියට පමුණුවා යුක්තිය පසඳිලිය යුතුය.
ශ්‍රී ලංකාව සිවිල් යුද්ධය, ජවිපෙ තරුණ කැරලි අතර සේම පශ්චාත් යුධ සමයේද මිනිසුන් සියදහස් ගණනක් අතුරුදහන් වූ, බලහත්කාරී අතුරුදහන් කිරීම් පිළිබඳව දිගු ඉතිහාසයක් ඇති රටකි. 1980 දශකයේ අග භාගයේ සිට බලහත්කාරී අතුරුදහන් කිරීම් 60,000 ත් 100,000 ත් අතර ප්‍රමාණයක් සිදුව ඇතැයි පැවසෙන ශ්‍රී ලංකාව ලොව වැඩිම බලහත්කාරී අතුරුදහන් කිරීම් සිදු වූ රටවල් අතර දෙවන ස්ථානයේ සිටී.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, ආසියානු මානව හිමිකම් කොමිසම සහ සංවිධානය ආදී මානව හිමිකම් සංවිධාන විසින් ශ්‍රී ලංකා රාජ්‍ය හමුදා, හිටපු රජයන්හි පැරා-මිලිටරි කණ්ඩායම් සහ කැරලිකරුවන් විසින් සිදු කළ බොහෝ බලහත්කාරී අතුරුදහන් කිරීම් ලේඛනගත කර තිබේ.
1988-89 දකුණේ තරුණ කැරැල්ලේදී සිංහල තරුණයින් සියගණනක් අතුරුදහන් වූ අතර, පසු කාලීනව රටේ සමහර ප්‍රදේශවලින් හමුවූ සමුහ මිනීවලවල් අතුරුදහන් කිරීම්හි යථාර්තය පවසන ලදී. වසර 30 කට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය තුළ සිදුවූ බලහත්කාරී අතුරුදහන් කිරීම්හි වින්දිතයින් බහුතරයක් දමිළ තරුණයින් විය. 1979 ගෙන ආ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දමිළ කතා කරන තරුණයින් විශාල පිරිසක් බලහත්කරි අතුරුදහන් කිරිමට ලක් විය. තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම යුධ හෝ කැරලිකාරී තත්වයක් නොතිබියදී පවා බලහත්කාරී අතුරුදහන් කිරීම් සිදුවූ බවට සැපයිය හැකි මෑත කාලින නිදසුනකි. මෙසේ අපේ රටට අහිමිව ගියේ රටේ ජීවනාලිය නොවේද? යුධ කැරලි අවස්ථාවලදී පමණක් නොව මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීමට ලක් කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව ලෝකයේ කළු පැල්ලමකි.
1985 වසරේදී යාපනය අම්මාවරුන්ගේ පෙරමුණ නමින් කාන්තාවන් විසින් බලහත්කාරි අතුරුදහන් කිරීම්වලට එරෙහිව සංවිධාන ගත විය. 1990 වසරේදී ජවිපෙ තරුණ කැරැල්ලේදී අතුරුදහන් කිරීමට ලක් වූ 60,000 කට ආසන්න තම දරුවන් සහ ස්වාමි පුරුෂයින් උදෙසා යුක්තිය ඉල්ලමින් කාන්තාවන් 25,000 ක් පමණ එක්වී 'මව්වරුන්ගේ පෙරමුණ' නමින් සංවිධානගත විය. පසුකාලීනව එහි ක්‍රියාකාරිත්වය වියැකී ගිය අතර, 1990 දශකයේම 'අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව' ලෙස සංවිධානයක් බිහි වූ අතර එය අද දක්වා ක්‍රියාකාරිත්වයේ පවතී.
අතුරුදහන් කිරීමට ලක්වූ තම ආදරණීයයන්ට යුක්තිය ඉටු කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් සිදුකර කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබීමෙන් අනතුරුව 2017 වසරේ පෙබරවාරි මසදී උතුරේ මව්වරුන් විසින් කිලිනොච්චියේදී සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී. කෙටි කලක් තුළ උතුරු නැගෙනහිර සෑම දිස්ත්‍රික්කයකම අතුරුදහන් වුවන්ගේ ඥාතීන් මේ අරගලය හා එක් විය. අද දක්වා රාජ්‍ය අඩම්තේට්ටම්වලට ලක් වෙමින් විවිධ බාධා මැද ඒ අම්මාවරු අව්වේ වැස්සේ වාඩිලා සිටිති. ඒ අතරින් 80 කට ආසන්න ගණනක් සිය ආදරණීයයන් කොහේ කොතනදැයි නොදනිමින්ම මිය ගොස් ඇත. යුක්තිය උදෙසා කරන මේ අඛණ්ඩ අරගලය ලෝකයේ දීර්ඝතම අම්මාවරුන්ගේ අරගලයක් ලෙස සැලකිය හැක.
1998 ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් පත් කළ කොමිෂන් සභා, 2013 උදලාගම කොමිෂන් සභාව, 2011 උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභාව, 2015 පරණගම කොමිෂන් සභාව ආදි සියල්ල බලහත්කාරි අතුරුදහන් කිරීම් විමර්ශනය කර යුක්තිය ඉටු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළ ද ඒ කිසිවක් ක්‍රියාත්මක කිරීමට කිසිදු ආණ්ඩුවක් උත්සහ දැරුවේ නැත.
තත්වය එතරම් සෝචනීය වුවත් අද වනතුරු බලහත්කාරී අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව සමත් වී නැත. 2016 දී ශ්‍රී ලංකාව විසින් අතුරුදහන් වූවන්ට අදාළව 'අතුරුදහන් වූ බවට සහතිකයක්' නිකුත් කිරීමට එකඟ වූ අතර, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කරන ලදී. 2017 දී අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසු රාජ්‍ය ආරක්ෂක හමුදා සාමජිකයින් අතුරුදහන් වීම් ගැන පැමිණිලි 5,000 කට ආසන්න ගණනක් ඇතුළුව බලහත්කාරි අතුරුදහන් කිරීම් පිළිබඳ පැමිණිලි 23,586 ක් ලැබුණු බව සඳහන් වේ.
සිවිල් යුද්ධය තුළදී අතුරුදහන් වූ සියලු දෙනා මියගොස් ඇති බවට 2019 දී ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති ප්‍රකාශ කරන ලදී.
බලහත්කාරි අතුරුදහන් කිරීම් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ එක් අනිවාර්ය අංගයක් වී ඇත. සමස්ථයක් ලෙස සමාජය එකතු වී යුක්තිය ඉටු කරන ලෙස කරන බලපෑමක් හෝ පාලකයින් විසින් මෙය වහා ආමන්ත්‍රණය කළ යුතු තත්වයක් ලෙස හෝ දකින්නේ නැත. බලහත්කාරි අතුරුදහන් කිරීම් සම්බන්ධව අපගේ සමාජය කෙතරම් අසංවේදීදැයි කියතොත්, ඒ උදෙසා යුක්තිය ඉල්ලා අරගල කරන මිනිසුන්ව විවිධ ලෙස නාමකරණය කර බැහැර කිරීම සාමාන්‍ය වී ඇත.
ශ්‍රී ලංකාව බලහත්කාරි අතුරුදහන් කිරීම් සම්බන්ධව සාකච්ඡාවට ලක් වන රටක් වන නමුත්, අපේ රටේ බොහෝ දෙනා ඒ පිළිබඳව දැනුවත් නැත. දශක ගණනක් තිස්සේ වරින් වර සිදු වූ බලහත්කාරි අතුරුදහන් කිරීමට ලක් කිරීම්වලට අපි සමාජයක් ලෙස යුක්තිය ඉල්ලා නැත. අතුරුදහන් කිරීම්වලට ලක් වූ අයගේ ආදරණීයයන්ගේ වේදනාවන් සුවපත් කරන්නට උත්සාහ දරා නැත. සුව නොවුණු වේදනාවන්, අපේක්ෂාභංගත්වයන්, යුක්තිය ඉටු නොවීම් අපව රැගෙන යනු ඇත්තේ තවත් අඳුරු ආගාධයක් වෙත පමණි.
බලහත්කාරී අතුරුදහන් කිරීම් සරල සාමාන්‍ය තත්වයක් ලෙස සළකා සිය පුරවැසි ජීවිත පිළිබඳ වගකීමෙන් මුක්ත වීමට කිසිදු ශිෂ්ට රාජ්‍යකට හැකියාවක් නැත. එහෙයින් එදා මෙදා තුරු සිදුවූ බලහත්කාරි අතුරුදහන් කිරීම්හි අපරාධකරුවන් හෙළි කර යුක්තිය ඉටු කරන ලෙසට පාලකයින්ගෙන් ඉල්ලා සිටීම පුරවැසියන් වන අපගේ මගහැරිය නොහැකි වගකීමක් වේ. අපි ඒ වගකීම ඉටු කරමු. අතුරුදහන් කිරීම් අතුරුදහන් නොකරමු.
Act Now
Comments
Post a Comment