ජගත් සාම දිනය

 

ගත් සාම දිනය සෑම වසරකම සැප්තැම්බර් 21 වනදා සමරනු ලබයි. රටවල් තුළ මෙන්ම රටවල් අතරද සාමයේ පරමාදර්ශ ශක්තිමත් කිරීම සඳහා මෙම දිනය කැප කෙරේ.  2021 වසරේ ජගත් සාම දිනයේ තේමාව වන්නේ " සාධාරණ සහ තිරසාර ලොවක් උදෙසා වඩා හොඳින් සුවපත් වීම" යන්න යි. 


කොවිඩ් වසංගතය හමුවේ වඩාත් පීඩාවට පත්ව ඇත්තේ අව වරප්‍රසාදිත සහ ආන්තිකරණය වූ කණ්ඩායම් වේ. 2021 අප්‍රේල් වන විට ලොව පුරා කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් මිලියන 687 කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති නමුත් රටවල් 100 කට වැඩි ගණනකට එක මාත්‍රාවක් හෝ ලැබී තිබුණේ නැත. සෞඛ්‍ය සඳහා ප්‍රවේශයක් නොමැතිකම හේතුවෙන් ගැටුම්වලට මැදි වූ පුද්ගලයින් විශේෂයෙන් අවදානමට ලක් වේ.


වසංගතයට ගොදුරු වූ අයව අවමානයට ලක් කිරීම, වෙනස්කම් කිරීම සහ වෛරයට ලක් කිරීම ඉහළ යාම දක්නට හැකි විය. අපි කොහේ කොතැන කවුරුද, අපගේ විශ්වාසයන් මොනවාද යන්න වෛරසය සලකන්නේ නැත. මානව සංහතියේ මෙම පොදු සතුරාට මුහුණ දීමේදී අපි එකිනෙකාගේ සතුරා නොවන බව අප මතක් කර දිය යුතුය. වසංගතයෙන් සැබෑවට සුවපත් වීමට නම් අපි එකිනෙකා සමඟ සාමය ඇති කර ගත යුතු යි. 


ලෝකයේ කිසිදු කලාපයක් ප්‍රචණ්ඩත්වයෙන් වියුක්තව තිබුණේ යැයි කිව නොහැක. ලෝකයේ ස්වභාවය එනයින්ම ප්‍රචණ්ඩකාරී යැයි ඇතමෙක් සිතද්දී , තවෙකෙකුගේ මතය වන්නේ අපට සටන් කිරීම නැවතිය හැකි නම් සාමය යන ස්වභාවික තත්වය ඇති කළ හැකි බව යි. එහෙත් කිසිවෙකු සාමයට විරුද්ධ වන්නේ නැත. කෙසේ වෙතත් සාමය යනු යුද්ධයක් හෝ යම් ප්‍රචණ්ඩකාරි තත්වයක් නොපැවතීම නොවේ. එය ගැටුම් නිරාකරණයෙන් ඔබ්බට ගොස් ගැටුම් වැළැක්වීම දක්වා වූ පුළුල් අදහසක් සහිත උත්සාහයකි. 


මානව සංහතියට ඇති උසස්ම වටිනාකම සාමය වන බවට කිසිදු සැකයක් නැත. කෙසේ නමුත් මිනිස් ශිෂ්ටාචාරය පුරා යුධ ගැටුම් හා ප්‍රචණ්ඩකාරි අවස්ථා ඕනෑ තරම් ඇති වී ඇත.


බහුසංස්කෘතික රටවල් සිය පාලනයන් සාමකාමීව ගෙන යන්නේ බහුත්වවාදි දේශපාලන දර්ශනය පෙරටු කරගනිමිනි. ශ්‍රී ලංකාව බහුසංස්කෘතික රටක් වුව ද දශක ගණනාවක සිට, මේ දක්වාම එකකට පසු එකක් ඇදී යන අන්තර් වාර්ගික අවිස්වාසයන්,කෙනෙහිලිකම්, සමාජ ගැටුම්වල නිමාවක් නැත්තේ ශ්‍රී ලංකාව අනුගමනය කර ඇත්තේ විවිධත්වය බැහැර කරන ප්‍රතිපත්තියක් නිසා බව ඉතිහාසය සොයා බැලීමේ දී පෙනී යයි.


දමිළ කතා කරන ජනතාව විසින් සිය අයිතිවාසිකම් දිනා ගැනීමට කළ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රයත්න සියල්ලක්ම මර්දනයට හා නොසලකා හැරීමට ලක් කිරීමේ ප්‍රතිඵලය වූයේ, වෙනම රාජ්‍යක් බිහි කරගැනීමේ අදහස දෙමළ ජනයා අතර මතු වීම යි. ඒ සමග ඇති වූ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය වසර 27 ක් පැවතුනි.


2009 වසරේ දී සිවිල් යුද්ධය නිමා වීමෙන් පසුව උතුරු නැගෙනහිර පිහිටුවා තිබූ හමුදා කඳවුරු සහ අධි ආරක්‍ෂිත කලාප සඳහා පවරාගෙන තිබූ ඉඩම් ආපසු ලබා දෙනවා වෙනුවට, එවක රජය විසින් තව තවත් හමුදා කඳවුරු ද, මිලිටරි පරිපාලන හෝටල් ද ඉදි කළේය. උතුරු නැගෙනහිර දමිළ ජනයාගේ සොහොන් විනාශ කර ඒ මත හමුදා බැරැක්ක ඉදි කරන ලදී. ජාතික ගීය දමිළ බසින් ගැයීම නවත්වන ලදී. සියලු තැන්හි යුද්ධයේ බියකරු වේදනා සිහිගන්වන යුධ ස්මාරක ඉදි විය.  යුද්ධය නිමා වීමෙන් පසුව රජය ක්‍රියා කළ ආකාරය දෙස බැලූ විට  සාමය ස්ථාපිත කිරීමට පාලකයින්ට අවශ්‍ය වූයේ දැයි සැක මතු වේ. 


යුද්ධය නිම වී වසර 12 ක් ගත වන විටත් උතුරු නැගෙනහිර ජනයා යුද්ධයේදී සහ ඉන් පසුව ආරක්ෂක හමුදා භාරයේ සිටි පුද්ගලයින් අතුරුදහන් වීම පිළිබඳව සත්‍ය සහ යුක්තිය සොයා වෙහෙසෙති. මිය ගිය සිය ආදරණීයයන් ස්මරණය කිරීමට එරෙහි රජයේ එදිරිවාදිකම්වලට මුහුණ දෙති. බලහත්කාරයෙන් උදුරා ගත් සිය ඉඩකඩම් නැවත ලැබෙන තුරු අරගල කරති. මේ අනුව ශ්‍රී ලංකාව, යුද්ධයක් නොපැවතියද සැබෑ සාමයක් ද නොපවතින රටකට හොඳම නිදසුනක් බව පැවසීම වරදක් නොවේ.


ශ්‍රී ලංකාවට සාමය ස්ථාපිත කිරීමට අවශ්‍ය නම්, සියල්ලට පෙර, මෙරට සිදු වූ සහ සිදුවෙමින් පවතින ගැටුම්වලට හේතු අවංකව සොයා පිළිගත යුතු ය. එහිදී  විවිධත්වය පිළි ගැනීම සහ ඊට ගරු කිරීම සේම, සුළුතර කණ්ඩායම්වලට සිදු වූ සමාජ ආසාධාරණයන්ගේ යථාවන් පිළිගැනීම ද මග හැර යා නොහැක.


ශ්‍රී ලංකාවේ සාමයට අත් වී ඇති ඉරණමට හේතුව අපේ රට බහුසංස්කෘතික රටක් යන යථාව නොපිළිගෙන එය මග හැර යාම යි. දැන් යුද්ධයක් නොපැවතිය ද පවතින්නේ සාමය ද නොවේ. විටින් විට පුපුරා යන ආතතීන් ඊට සාක්ෂි වේ. ගමනේ දිශානතිය වෙනස් කිරීමට සහ එමඟින් වාර්ගික-ආගමික හා සංස්කෘතික සබඳතා පාලනය කිරීමට ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන් තිබුණි. දශක තුනකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය සහ පශ්චාත් ගැටුම් සහ ප්‍රවර්ධනය කළ බහුතරවාදී මානසිකත්වය හේතුවෙන් සාමයේ සැබෑ අරුත වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට පහසු නොවනු ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ ගමන වැටී ඇත්තේ මිනිස් ශිෂ්ටාචාරයේ ඉදිරියට ද පිටුපසට ද යන්න තීරණය වන්නේ සැබෑ සාමයට දොරටු විවර කරන්නේ ද නැද්ද යන්න මත යි.


සාම සංස්කෘතියක් නිර්මාණය කිරීම යන්නට තනි පුද්ගල හැසිරීම් සහ ආයතනික භාවිතයන් තුළින්  යුද්ධයක් සාමය වෙත පරිවර්තනය කිරීම ඇතුළත් වේ. සාමය ක්‍රියාත්මක වීමට නම් ගැටුමට මූලික වූ හේතුව අප තේරුම් ගත යුතු අතර, ගැටලුව විසඳීම සඳහා අපගේ අරගලය සහ හෘද සාක්ෂිය කිසි විටෙකත් අත් නොහැරිය යුතුය. අපේ ජීවිතයේ යම් සීමාවන් තුළ අසාධාරණය පැවතුණත්, අපේ සමාජය තුළ ඇති නොඉවසීම, කොන් කිරීම සහ අසමානතාවයන් විසඳීම සඳහා සමාජයීය හා දේශපාලන වශයෙන් කටයුතු කිරීමට අපට ධෛර්යය තිබිය යුතුය. වගකීම් සහගත වීමටත්, වගකිව යුත්තන් වගකීමට ලක් කිරීම සඳහා හඬ අවදි කිරීමටත් අපට සමාජීය කැපකිරීමක් වුවමනා වනු ඇත. 


ඒ සමාජ වුවමනාව ඇති කර ගැනීමටත්, ඒ සඳහා සමාජයක් ලෙස කැප වීමටත් අපි සූදානම් ද? 


sources 

https://www.un.org/en/observances/international-day-peace 



Act Now

Comments

Popular posts from this blog

ජාත්‍යන්තර මව් භාෂා දිනය

වසර 200ක් සපිරීම නව උදාවක් වන්නේ කෙසේද?

අපි සැවොම යුද්ධයේ පරාජිතයින් ය!