ජාත්‍යන්තර මව් භාෂා දිනය
1947 දී පකිස්ථානය නිර්මාණය කරන විට එයට නැගෙනහිර පකිස්ථානය (දැන් බංග්ලාදේශය ලෙස හැඳින්වේ) සහ බටහිර පකිස්ථානය (දැන් පකිස්ථානය ලෙස හැඳින්වේ) ලෙස භූගෝලීය වශයෙන් වෙන් වූ කොටස් දෙකක් තිබුණි. මෙම කොටස් දෙක සංස්කෘතියෙන් සහ භාෂාවෙන් එකිනෙකට බෙහෙවින් වෙනස් විය. නැගෙනහිර පකිස්ථානය සහ බටහිර පකිස්ථානය ඒකාබද්ධ කරමින් බෙංගාලි භාෂාව කතා කරන බහුතරයක් සිටිය ද, 1948 දී එවකට පකිස්ථාන රජය විසින් උර්දු බස පකිස්ථානයේ එකම රාජ්‍ය භාෂාව ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. නැගෙනහිර පකිස්ථානයේ ජනගහනයෙන් බහුතරයකගේ මව් භාෂාව බෙංගාලි වූ හෙයින් නැගෙනහිර පකිස්ථාන ජනතාව රජයේ මෙම තීරණයට එරෙහිව විරෝධය පෑහ. බෙංගාලි බස උර්දු භාෂාවට අමතරව ජාතික භාෂාවක් විය යුතු බව ඔවුහු ඉල්ලා සිටියහ.
ජනයා විශාල වශයෙන් මහජන රැස්වීම් සඳහා සහභාගී වූ අතර පොලිසිය විසින් දරුණු ලෙස එම විරෝධතා මර්ධනය කරන ලදී. 1952 වසරේ පෙබරවාරි 21 වන දින මර්දනයේ දී සමහර විරෝධතාකරුවන් ඝාතනය වූ අතර බොහෝ පිරිසක් තුවාල ලබන ලදී. මෙය මිනිසුන් තම මව් භාෂාව වෙනුවෙන් ජීවිතය කැප කළ ඉතිහාසයේ දුර්ලභ සිදුවීමකි.
ශ්‍රී ලංකාව ද බහුභාෂා සහිත රටකි. යටත් විජිත සමයේ මව් බස භාවිතයේ වැදගත්කම ඉස්මතු කරමින් එය අධිරාජ්‍ය විරෝධී හරයක් සහිත සටන් පාඨයක් ලෙස ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන් යාපනය තරුණ කොංග්‍රසයේ කාර්යභාරය වැදගත් වේ. කෙසේ වෙතත් යටත් විජිතවාදය අවසන් වීමෙන් පසුවද රාජ්‍ය භාෂාව ලෙස පැවතීයේ ඉංග්‍රීසි බස වන අතර නමුත් පසුව රටේ ජනතාව පුළුල්ව භාවිතා කළ ප්‍රධාන භාෂා දෙක වූ සිංහල සහ දෙමළ භාෂා දෙකම වෙනුවට 1956 දී බණ්ඩාරනායක රජය විසින් සිංහල පමණයි පනත සම්මත කරන ලදී. තම මව් බස සඳහා ඇති අයිතිය බැහැර කිරීමට විරුද්ධත්වය පල කරමින් දෙමළ ජනයා සත්‍යග්‍රහ දියත් කළ අතර පොලිසිය විසින් ප්‍රචණ්ඩ ලෙස ඒවා මර්දනය කරන ලදී. මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරවලට පහර දීමෙන් ආරම්භ වූ දමිළ විරෝධය රට පුරා පැතිර ගිය අතර එම ප්‍රචණ්ඩත්වයන් විසින් දෙමළ බස කතා කරන ජනයා ඝාතනය කිරීම ද සිදු විය.
1957 වසරේ දී බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළ අතර එහි එකඟතාවක් වූයේ රාජ්‍ය භාෂා ඉල්ලීමට වඩා ඉතා අවම ඉල්ලීමක් වන උතුරු නැගෙනහිර පරිපාලන කටයුතු සඳහා දෙමළ බස භාවිතා කිරීමට ඉඩ සැලසීම යි. මෙම ගිවිසුමට බෞද්ධ භික්ෂූන් සහ සිංහල දේශපාලඥයන් ඇතුළු ජනතාවගෙන් එල්ල වූ විරෝධතා හමුවේ 1958 දී ඔවුන් ඉදිරියේම ගිවිසුම ඉරා දමා බණ්ඩාරනායක විසින් ඒකපාර්ශවිකව ගිවිසුම කඩ කරන ලදී. මෙම ගිවිසුම කඩ කිරීමට එරෙහි සත්‍යග්‍රහයන්ටද රාජ්‍ය මර්දනය යොමු වූ අතර ඉන් නොනැවතී දෙමළ ජනයාට එරෙහි විශාල ප්‍රචණ්ඩත්වයන් දියත් විය.
1961 වසරේ දී සිරිමා බණ්ඩාරනායක රජය විසින් සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව කිරීමෙන්ද නොනැවතී අධිකරණ කටයුතු ද සිංහල බසින් පමණක් කළ යුතු බවට සම්මත කරන ලදී. මීට එරෙහිව යාපනයේ ජනයා, වෘත්තිකයන්, ශිෂ්‍යයන්, ගොවීන්, සහභාගී වූ පුළුල් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පවත්වන ලදී. උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාව ද මෙම විරෝධතා ව්‍යාපාරවලට සක්‍රීයව සහභාගි වෙමින් දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් සඳහා හඬ නැඟීම විශේෂත්වයකි.
1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් රාජ්‍ය භාෂාව ලෙස සිංහල බසට ව්‍යවස්ථාමය ආරක්ෂාවක් ලබා දෙන ලදී. එහිදී 1958 දෙමළ භාෂා (විශේෂ විධි විධාන) පනතෙහි වලංගු භාවය පිළිගනු ලැබූවද මෙම පනත කිසිදා ක්‍රියාත්මක වූයේ නැත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවටත්, දෙමළ භාෂාව ජාතික භාෂාවක් බවටත් පත් කරන ලදී. 1987 සම්මත කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් බවට පත් කරන ලදී.
කෙසේ වෙතත් රාජ්‍ය භාෂාවක් බවට උසස් කිරීමෙන් පසුව පවා මේ දක්වා දමිළ බස කතා කරන ජනතාවට තම මව් බසින් රාජ්‍ය සමග කටයුතු කිරීමට ඇති ඉඩ ඉතා සීමා සහිත වේ. විශේෂයෙන් උතුරු නැගෙනහිර නොවන ප්‍රදේශවල වෙසෙන දෙමළ කතා කරන ජනයා මෙකී භාෂාමය පීඩාවට දිනපතා මුහුණ දෙමින් සිටිති. උතුරු නැගෙනහිර ජනයා පවා විශේෂයෙන් පොලිසියේ සේවය ලබා ගැනීමේ දී සෘජුවම තම මව් බසින් කටයුතු කිරීමේ හැකියාව නොපවතියි.
රාජ්‍ය ආයතන තුළ, පොදු ස්ථාන සහ පොදු ප්‍රවාහන සේවය තුළ තම මව් බසින් කටයුතු කිරීමට දෙමළ කතා කරන ජනයාට පහසුකම් නොමැති බව රහසක් නොවේ. දුර්වල භාෂා ප්‍රතිපත්තිය නිසාම බහුතර සිංහල ජනයා වෙසෙන ප්‍රදේශවල වෙසෙන දෙමළ කතා කරන ජනයාට සිය මව් බස අත්හැර නිල වශයෙන් භාෂා දෙකක් පැවතියත් ප්‍රායෝගිකව පවතින එකම නිල රාජ්‍ය භාෂාව වන සිංහල භාෂාව භාවිතා කිරීමටත්, සිංහල බසින් අධ්‍යාපනය ලැබීමටත් බල කෙරී ඇත. ස්ව බසින් අධ්‍යාපනය ලැබීමට සහ රාජ්‍ය සමග කටයුතු කිරීමට ඇති හිමිකම මානව අයිතියක් වශයෙන් සලකන යුගයක ශ්‍රී ලංකාවේ තත්වය මෙසේ පැවතීම ඛේදජනක ය.
භාෂාව යනු තනි පුද්ගල සහ ප්‍රජා කණ්ඩායම්හි අනන්‍යතාවයේ නොබිඳිය හැකි කොටසකි. බහුභාෂා භාවිතා කරන ශ්‍රී ලංකාව වැනි රටක අනෙකාගේ මව් භාෂා අයිතිය වෙනුවෙන් පෙනී සිටීම අපගේ අත්හල නොහැකි සමාජ වගකීමක් වන්නේ එහෙයිනි.
Act Now
Comments
Post a Comment