මුල්ලිවයික්කාල් ස්මරණය


මුල්ලිවයික්කාල් යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ මුලතිව් ප්‍රදේශයේ පිහිටි ගම්මානයකි. මෙම ප්‍රදේශය යුද්ධයේ අවසන් භාගයේ දී ශ්‍රී ලංකා රජය විසින් යුධ මුක්ත කලාපයක් ලෙස නම් කරන ලදී. යුධ මුක්ත කලාපයක් යනු යුද්ධයක දී යුධ ප්‍රහාර එල්ල නොකරන, යුද්ධයට මැදි වූ සිවිල් ජනයාගේ ආරක්ෂාව සඳහා යුද්ධය සිදු කරන පාර්ශව අතර එකඟතාවයෙන් නම් කරන බිම් ප්‍රදේශය යි. 


2009 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් එල්ටීටීඊය සමඟ එකඟතාවයකින් තොරව එල්ටීටීඊ පාලන ප්‍රදේශ තුළ අවස්ථා තුනක දී යුද මුක්ත කලාප තුනක් ඒකපාර්ශ්විකව නිවේදනය කර ස්ථාපිත කරන ලදී. එම යුධ මුක්ත කලාප සෑම එකක්ම කලින් එකට වඩා ප්‍රමාණයෙන් කුඩා විය. 


යුධ මුක්ත කලාපවලට යුධ ප්‍රහාර එල්ල කිරීම අන්තර්ජාතික මානුෂවාදී නීතිය යටතේ තහනම් වන නමුත් ශ්‍රී ලංකා රජය විසින්, මෙම ප්‍රදේශයේ පිහිටි රෝහල් සහ නිවාස ද ඉලක්ක කරන දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන ලදී. අවසාන වශයෙන් ජීවිත බේරා ගැනීම සඳහා යුද මුක්ත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ මුල්ලිවයික්කාල් කුඩා බිම්කඩ වෙත දෙමළ වැසියන් පලා ගියහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 40,000 - 70,000 අතර දෙමළ සිවිල් වැසියන් සංඛ්‍යාවක් මෙම ප්‍රහාර හේතුවෙන් මිය ගිය අතර, මෙම ජීවිත හානි විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මුල්ලිවයික්කාල් පිහිටි මුලතිව් දිස්ත්‍රික්කයෙනි. ශ්‍රී ලංකා රජය විසින් එම ප්‍රදේශවලට ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය යැවීම නතර කර තිබූ නිසා එම දෙමළ සිවිල් ජනයා ඝාතනය වූයේ හමුදා ප්‍රහාරවලින් පමණක් නොව සාගතයෙන් සහ බෙහෙත් නොමැතිකම ද හේතුවෙනි.


2009 යුද්ධයට මැදි වූ උතුරේ ජනයා
ඡායාරූපය - සෞන්දියාස් අමරදාස්


යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා රජය විසින් මැයි 18 විජයග්‍රාහී දිනය ලෙස ප්‍රකාශයට පත් කළ අතර සෑම වසරකම එම දිනය හමුදා පෙළපාළිවලින් සමරයි. කෙසේ වෙතත්, රජයේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ජාතික දිනයේ (පෙබරවාරි 4) සියලු මියගිය අය සැමරීමට නිර්දේශ කර තිබියදීත් සිවිල් යුද්ධයේදී මියගිය දහස් ගණන් දෙමළ සිවිල් වැසියන් ස්මරණය කිරීම වෙනුවෙන් නිල සැමරුමක් පවත්වන්නේ නැත.


යුද්ධයෙන් දිවි ගළවා ගන්නට සමත් වූ ජනයා විසින් යුද්ධය අවසන් වූ මැයි 18 වනදා, මුලීවයික්කාල් අනුස්මරණ දිනය ලෙස සලකනු ලබන අතර, එසේ යුද්ධයට මැදිව ඝාතනය වන්නට වූ සිය ඥාතීන්ව දෙමළ ජනයා විසින් මැයි 18 දින ස්මරණය කරති. දෙමළ ජනයා සාමූහිකව රැස් වී එම ස්මරණය සිදු කරන්නේ බොහෝ දෙනා ඝාතනය වූ මෙම මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ දී වන අතර එම නිසා එය මුල්ලිවයික්කාල් ස්මරණය යනුවෙන් හැඳින්වේ. 


මුල්ලිවයික්කාල් ස්මරණය 2022 මැයි 18
ඡායාරූපය - විකල්ප වෙබ් අඩවිය

ඉතා දැඩි ලෙස හමුදාකරණය වූ මුලතිව් ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනයා යුද්ධයේ දී මිය ගිය සිය ආදරණීයයන් සිහි කරන මුල්ලිවයික්කාල් ස්මරණය පවත්වනු ලබන්නේ රාජ්‍යයේ දැඩි මර්දනයට මුහුණ දෙමෙනි. පසුගිය (2021) වසරේ ද සියලු කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුයමින් මිය ගිය අය වෙනුවෙන් ඉටි පන්දම් දැල්වූ පුද්ගලයන් 10 දෙනෙක්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්නා ලදී. මිය ගිය මිනිසුන් සිහි කිරීම සඳහා ඉදි කරන ලද ස්මාරක හමුදාව විසින් විටින් විට කඩා බිඳ විනාශ කර දමයි. ගිය වසරේ යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදි කර තිබූ ස්මාරකය ද එසේ කඩා දමන ලදී. මෙසේ රාජ්‍ය මර්දනයට හා බලපෑමට මුහුණ දෙමින් ද බහුතර සිංහල සමාජයේ කිසිම සහයෝගයක් නොමැතිව සහ කිසිඳු සිංහල මාධ්‍ය ආවරණයක් නොමැතිව දෙමළ ජනයා දශකයකට ත් අධික කාලයක් පුරා මිය ගිය ආදරණීයයන්ගේ මතකය මියෙන්නට නොදී රැකගෙන ඇත. 

සොහොන් කොත් ඩෝසර් කර ඒවා මත හමුදා කඳවුරු ගොඩනැඟීමෙන්, ස්මරණ ස්මාරක විනාශ කිරීමෙන්, මළවුන් වෙනුවෙන් පහනක් ඉටි පන්දමක් දැල්වීමට ඉඩ නොදීමෙන්, ස්මරණයෙහි නිරත වන්නන් අත් අඩගුවට ගැනීමෙන්, මළවුන් ස්මරණය කරන්නන්ට තර්ජන බියවැද්දීම්, සෝදිසි කිරීම් වලට ලක් කිරීම් ආදි ලෙස  උතුරු නැගෙනහිර ජනයාට මළවුන් ස්මරණය කිරීමට ඇති අයිතිය ශ්‍රී ලකාව තුළ රාජ්‍ය අනුග්‍රහයෙන් උල්ලඝනය කරනු ලබයි. 



මෙම වසරේ මුල්ලිවයික්කාල් ස්මරණය සතියේ දී (මැටි 12 සිට මැයි 18) , යුද්ධයෙන් ඝාතනය වූ තම ඥාතීන් ඇතුළු ජනයාට ගෙවන්නට සිදු වූ දුෂ්කර කාලය සිහි කරමින් උතුරු නැගෙනහිර බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක් කළ පුද්ගලයන්ගේ ඥාතීන් විසින් 'මුල්ලිවයික්කාල් කන්ජි' නමින් හඳුන්වනු ලබන, යුද්ධයට මැදි වුණු ජනයාට ආහාර වශයෙන් තිබූ එකම ආහාරය වූ කැඳ වර්ගය පිස බෙදා ගන්නා ලදී.


මුල්ලිවයික්කාල් කැඳ බෙදා දීම
ඡායාරූපය - කනපතිපිල්ලෛ කුමනන්

යුද්ධය තුළ සහ යුද්ධය අවසන් වීමෙන් පසුව දෙමළ ජනයාට එරෙහිව සිදු කරන ලද, බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක් කිරීම වැනි අපරාධවලට යුක්තිය ඉල්ලමින් සහ සමූහ ඝාතනයට ලක් වූ දෙමළ ජනයා සිහි කරමින් බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක් කළ පුද්ගලයන්ගේ ඥාතීන් විසින් නැගෙනහිර පළාතේ පොතුවිල් සිට උතුරු පළාතේ මුල්ලිවයික්කාල් දක්වා දින තුනක් පුරා පා ගමනින් ගොස් මැයි 18 වන දින මුල්ලිවයික්කාල් ස්මරණය සිදු කරන ලදී. 


මෙවර මුල්ලිවයික්කල් ස්මරණය ද සුපුරුදු ලෙස ආරම්භයේ පටන් රාජ්‍ය හමුදාවන්ගේ තර්ජනයට සහ බිය ගැන්වීමට ලක් විය. මුල්ලිවයික්කාල් කැඳ බෙදා දීමේ නිරත පුද්ගලයන්ව ඡායාරූප ගත කිරීම ද ස්මරණය පැවැත්වෙන ස්ථානය පුරා හමුදාව නිතර සැරිසැරීමත් සිදු විය. පසු ගිය 21 වනදා මෙවර මුල්ලිවයික්කාල් ස්මරණයෙහි සංවිධායකයෙක් වූ විවේකානන්දන් ප්‍රියන්ගන්ව රාජ්‍ය බුද්ධි අංශයට සම්බන්ධතා ඇති බව කියවෙන මැර පිරිසකගේ අමානුෂික පහර කෑමට ලක්ව රෝහල් ගත කරන ලදී.  '


මෙම වසරේ දී මැයි 18 වනදා කොළඹ ගෝල්ෆේස් හි දී ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව වුව යුද්ධයෙදී ඝාතනය වූ සිවිල් දෙමළ ජනයා සිහි කරමින් මුල්ලිවයික්කාල් ස්මරණයක් පුරවැසි පිරිසක් විසින් පවත්වන ලදී. එහිදී කවි ගායනා කළ අතර මුල්ලිවයික්කාල් කැඳ බෙදීම සහ යුද්ධයට මැදිව මියෙන්නට වූ දෙමළ ජනයාගේ ඛේදනීය ජීවිත සිහිපත් කරමින් මුහුදට මල් පා කරන ලදී. මෙසේ දකුණේ දී මිය ගිය දෙමළ ජනයා සහ යුද්ධයේ කෲරත්වය සිහි කළ පළමු මැයි 18 ස්මරණයක් සිදු කළ අවස්ථාව මෙය වේ.


කොළඹ ගාලුමුවදොර පැවති මුල්ලිවයික්කාල් ස්මරණය

ස්මරණය කිරීම, ස්මරණයට පාත්‍ර වන්නන්ට සේ ම ස්මරණයෙහි යෙදෙන්නන්ට ද වැදගත් වේ. ස්මරණය දැන් මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස සැලකේ. ස්මරණය දැරිය නොහැකි ප්‍රචණ්ඩත්වයන් අත්විඳි සමාජයක සුවපත් වීමේ මාර්ගය වේ. ඒ සියල්ලට වඩා ස්මරණය තුළින් අයුක්ති සහගතව නිකරුණේ මියෙන්නට වූ දහස් සංඛ්‍යාත මිනිසුන් උදෙසා යුක්තිය ඉටු විය යුතු බවට වන මිනිස් අභිලාශය පිළිබිඹු වේ. 


මූලාශ්‍ර - 


https://www.hrw.org/news/2009/05/08/sri-lanka-repeated-shelling-hospitals-evidence-war-crimes 

https://www.independent.co.uk/news/world/asia/up-to-40-000-civilians-died-in-sri-lanka-offensive-1897865.html 


Act Now
2022/05/19

Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

உலக சமாதான தினம்