කළු ජූලියෙන් වසර 39ක් ගතවන තැන අපි කොතැනද?


ළු ජූලිය යනුවෙන් හැඳින්වෙන්නේ 1983 වසරේ ජූලි මස 24 වනදා සිට 29 වනදා දක්වා ශ්‍රී ලංකාව පුරා ඇති වූ දෙමළ -විරෝධි ප්‍රචණ්ඩතා වේ. සිංහල ප්‍රචණ්ඩකරුවන් විසින් දෙමළ ජනයාගේ නිවාස, ව්‍යාපර ස්ථාන ගිනි තබමින්, දේපල විනාශ කරමින් සහ වස්තුව කොල්ලකමින්, මිනිසුන් ඝාතනය කරමින් ප්‍රචණ්ඩත්වය පැතිරූහ. මෙහිදී දෙමළ ජනයා 400 - 3000 ත් අතර ගණනක් ඝාතනය වූ බවට ගණන් බලා තිබේ. 150,000 ක දෙමළ ජනයා අවතැන් භාවයට පත් විය. දෙමළ ජනයා විශාල වශයෙන් විදේශ රටවල් වෙත ගිය අතර, උතුරට පලා ගිය බොහෝ තරුණයින් දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට විරුද්ධව ගොඩනැගී තිබූ සන්නද්ධ ව්‍යාපරවලට බැඳුනහ. 

ශ්‍රී ලංකාවේ පත් වූ රජයන් විසින් දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ නොසළකා හැරීම දීර්ඝ කාලයක් මුලුල්ලේ අඛණ්ඩව පවත්වා ගෙන යන ලදී. දෙමළ ජනයාගේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට සාමකාමී සත්‍යගහයන්ගේ සිට, අවි භාවිතයෙන් තොරව විසඳුමක් නොලැබේය යන තැනට තල්ලු වන්නට හේතු වූයේ එයයි. 


1983 ජූලියේ සිදු වූ දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය හැඳින්වීමට යොදා ගන්නා “ජූලි කෝලාහල” යන වචනය සැබවින්ම 1983 ජූලි මාසයේ දී මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය නිවැරදිව පෙන්නුම් කරන්නේ දැයි සැක සහිතය. කෝලහාලයක් සිදුවීම සඳහා ඊට සම්බන්ධ පාර්ශව දෙකම ගැටුම්කාරි ලෙස කටයුතු කළ යුතු ය. එහෙයින් 1983 දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්ව සඳහා කෝලහාල යන වදන යොදා ගැනීම, එම ප්‍රචණ්ඩත්වයෙහි ස්වරූපයට සහ සන්දර්භයට උචිත නොවේ. 1983 ජූලි මාසයේ දී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා යනු ශ්‍රී ලංකාවේ වෙසෙන සංඛ්‍යාවෙන් සුළුතර වන ජන වර්ගයකට එරෙහිව සංඛ්‍යාත්මක බහුතර ජාතිය විසින් ඔවුන් සතු රාජ්‍ය බලය යොදාගෙන හමුදාව සහ පොලිසිය හරහා ක්‍රියාත්මක කරන ලද සැලසුම් සහගත ප්‍රචණ්ඩ ක්‍රියා මිස හුදු දෙපාර්ශවයක් අතර “කෝලාහලයක්” නොවේ.


1983 දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයේ ආරම්භක හේතුව වූයේ රජයේ හමුදා භටයන් 13ක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රහාරයක් නිසා මරණයට පත්වීම යැයි දැක්වීම මඟින් පෙන්නුම් කරනු ලබන්නේ ඉතිහාස සාක්ෂරතාවය නොමැතිකමත් දේශපාලනික අතාර්කික භාවයත් වේ. 1983 කළු ජූලි ප්‍රචණ්ඩත්වය එක්වනම 1983 ජූලි 24 දින ශ්‍රී ලංකාව තුළ පැන නැඟුණ හුදෙකලා සිදුවීමක් නොවේ. ඒ හා බැඳුණු වාර්ගික අගතීන් ගහණ සිද්ධිමය ඉතිහාසයක් තිබෙන අතර ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන උනන්දු වන්නෙකුට එය මඟ හැර යා නොහැකි වේ.


1983 වසරේ මාර්තු මස සිටි උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය විසින් කළ ප්‍රචණ්ඩතා රාශියක් සිදු විය. විවිධ ප්‍රදේශවල දෙමළ ජනයා ඝාතනය කිරීම, පහර දීම සේම එම ප්‍රදේශවල දෙමළ ජනයාගේ සහ කඳුකරයෙන් සරණාගතයන් ලෙස එම ප්‍රදේශ්වලට පැමිණ සිටි දෙමළ ජනයාගේ පැල්පත් ගිනි තැබීම සිදු කරන ලද්දේ සිංහල රාජ්‍ය නිලධාරීන්ගේ සහ හමුදා සෙබළුන්ගේ මූලිකත්වයෙනි. 


1983 ජූලි 23 වන දින L.T.T.E. සංවිධානය විසින් යාපනයේ තිරුනල්වේලි හි දී හමුදාව වෙත එල්ල කළ පහරකින් හමුදා සමාජිකයින් පිරිසක් මිය යන ලදී. හමුදා සාමාජිකයින්ගේ මෘතදේහ කොළඹට ගෙන ඒමෙන් පසුව රට පුරා දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩතා ඇති විය. නමුත් දමිළ ජනයාට එරෙහි රාජ්‍ය නොසලකා හැරීම් සහ දේශපාලනිකව මර්දනය කිරීම 1983ට පෙර දිගු ඉතිහාසයක සිට සිදු වෙමින් පැවතුණි. '83 ජූලි මාසය එකී මර්දනය සහ නොසලකා හැරීම ව්‍යාප්ත කළ එක් අවස්ථාවක් විය. ජූලි 24 වනදා හමුදාව විසින් තිරුනල්වේලි හි කඩ සාප්පු විනාශ කළ අතර, සිවිල් වැසියන් 51 දෙනෙක් ඝාතනය කරන ලදී. 


සිංහල මැර කල්ලි විසින් දෙමළ ජනයාට අයත් නිවාස හා ව්‍යාපාර ගිනි තබමින්, දේපල මංකොල්ලකමින්, දෙමළ ජනයා ඝාතනය කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා දින 5ක් පුරා පැවතුණි. වැලිකඩ බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාරවල දෙමළ රැඳවියන් විශාල ගණනක් ඝාතනය විය. ජනපති ජයවර්ධන විසින් ඇඳිරි නීතිය පනවා තිබුණ ද පොලිසියේ හා හමුදාවේ අනුග්‍රහයෙන් ප්‍රචණ්ඩතා අඛණ්ඩව පැවතුණි. 


ජූලි 28 වනදා ජාතිය ඇමතූ ජනපති සිය අයිතිවාසිකම් උදෙසා අරගල කිරීමට ආරම්භ කළ දෙමළ ජනයා සිදු වූ දේට වගකිව යුතු බවත්, සිංහල ජනයා ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත් කියමින් ප්‍රචණ්ඩතා සාධාරණීකරණය කළේය. ප්‍රචණ්ඩතා ඇති කළ බවට චෝදනා නගමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා නව සම සමාජ පක්ෂය තහනම් කරන ලදී. 


පසු කාලීන පත් වූ රජයක් විසින් 1983 ප්‍රචණ්ඩතා පිළිබඳ විමර්ෂණය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ ද, වින්දිතයින්ට වන්දි ගෙවීමක් හෝ ඝාතකයින් හා වරදකරුවන්ට එරෙහි නෛතික ක්‍රියාමාර්ග ගැනීමක් මෙතෙක් සිදු වී නැත. 


ශ්‍රී ලංකාව තුළ සුළු වාර්ගික කණ්ඩායම්වලට එරෙහි ප්‍රචණ්ඩතා 1983 කළු ජූලි සංහාරයෙන් පසුව අවසන් වූයේ නැත. ඉන් පසු ශ්‍රී ලංකාව වසර 27ක් පුරා ඇදී ගිය සිවිල් යුද්ධයක ගොදුරක් විය.


1983 කළු ජූලි සංහාරයට අදට 39 වසරකි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය වාර්ගික සුළුතරයන්ට එරෙහි අගතීන්ගෙන් ගහණ එකකි. ඒ ඉතිහාසය දෙස සිහිනුවණින් බැලීමට වර්තමානය තරම් අපිව පොළඹන වෙනත් කාලයක් උදා නොවිය හැක.   


Act Now 

24/07/2021


මූලාශ්‍ර -


“Sri Lanka : Arrogance of power" - Prof. Rajan Hoole

http://news.bbc.co.uk/2/hi/south_asia/3090111.stm 

http://news.bbc.co.uk/2/hi/south_asia/7521197.stm 


Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

මුල්ලිවායික්කාල් දෙමළ වර්ග සංහාර ස්මරණ දිනය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?