ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?


සටහන - ඉසුරු එදිරිසිංහ


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act) (PTA) කියන්නේ මොකක්ද?


1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සම්බන්ධ කාරණා සඳහා පුද්ගලයන්, පුද්ගල කණ්ඩායමක් හෝ සංගමයක් පිළිබඳව ක්‍රියා කිරීම සඳහා තාවකාලික විධිවිධාන සැළසීමට ගෙන ආ පනතකි. ජේ.ආර්. ජයවර්ධන රජය විසින් එක් දිනක් තුළ සම්මත කරගත් මෙම තාවකාලික විධිවිධාන පනත 1982 අංක 10 දරණ සංශෝධිත පනත ලෙස ස්ථිර පනතක් ලෙස සම්මත කරන ලදී. මෙය 1988 අංක 22 ලෙසත්, 2022 අංක 12 ලෙසත් නැවතත් සංශෝධනය විය.


පනතේ දැක්වෙන වැරදි සහ දඬුවම් මොනවාද ?


මෙම පනතට අදාළ වන මූලික වචන වන ත්‍රස්තවාදය හෝ ත්‍රස්තවාදියා යන ඒවා සම්බන්ධයෙන් කිසිම අදහසක් දෙන ආකාරයේ පැහැදිලි කිරීමක් මෙම පනතෙහි ඇතුළත් නොවේ. මෙහි සාමාන්‍ය අපරාධ ගණයට වැටෙන් ක්‍රියාකාරකම් ද ඇතුළත්ව යම් යම් වැරදි සහ ඒවාට අදාළ දඬුවම් දක්වා ඇත. 


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 2 (1) 


(අ) දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ මරණ දණ්ඩනයට හෝ අවුරුදු හතකට නොඅඩු සිරදඬුවම් ලැබිය හැකි වරදවල් වන යම් නිශ්චිත පුද්ගලයෙකුගේ මරණයට හේතු වීම, හෝ නිශ්චිත පුද්ගලයෙකු පැහැරගෙන යාම හෝ අපහරණය හෝ එවැනි ඕනෑම පුද්ගලයෙකුට වෙනත් ප්‍රහාරයක් එල්ල කිරීම; හෝ


(ආ) දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ මරණ දණ්ඩනයට හෝ අවුරුදු හතකට නොඅඩු සිරදඬුවම් ලැබිය හැකි වරදවල් වන මෙම පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවෙක් වන යම් නිශ්චිත පුද්ගලයෙකුගේ මරණයට හේතු වීම, හෝ නිශ්චිත පුද්ගලයෙකු පැහැරගෙන යාම හෝ අපහරණය හෝ එවැනි ඕනෑම පුද්ගලයෙකුට වෙනත් ප්‍රහාරයක් එල්ල කිරීම; හෝ


(ඇ) ඕනෑම නිශ්චිත පුද්ගලයෙකුට හෝ (ආ) ඡේදයේ සඳහන් සාක්ෂිකරුවෙකුට සාපරාධී බිය ගැන්වීම; හෝ


රජයේ, ඕනෑම දෙපාර්තමේන්තුවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, රාජ්‍ය සංස්ථාවක, බැංකුවක, සමූපකාර සමිතියක හෝ දේපළ මංකොල්ලකෑම; හෝ


(ඈ) රජයේ, ඕනෑම දෙපාර්තමේන්තුවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, රාජ්‍ය සංස්ථාවක, බැංකුවක, සමූපකාර සමිතියක හෝ  වෙනත් පොදු දේපලකට අනර්ථකාරී වරදක් සිදු කිරීම; හෝ


(ඉ) පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලද හෝ භාවිතා කිරීමට අදහස් කරන ඕනෑම ගිනි අවි, ප්‍රහාරාත්මක ආයුධ, පතොරම් හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ කිසියම් භාණ්ඩයක් හෝ දෙයක් නීත්‍යානුකූල අධිකාරියකින් තොරව ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම හෝ එකතු කිරීම; හෝ


(ඊ) නීත්‍යානුකූල අධිකාරියකින් තොරව, කිසියම් ආරක්ෂක ප්‍රදේශයක් තුළ, කිසියම් ගිනි අවියක් හෝ කිසියම් ප්‍රහාරාත්මක ආයුධයක්, පතොරම් හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරන හෝ භාවිතා කිරීමට අදහස් කරන කිසියම් භාණ්ඩයක් හෝ දෙයක් සන්තක්කයේ තබා ගැනීම; හෝ


(එ) කථා කරන ලද හෝ කියවීමට අදහස් කරන වචන මඟින් හෝ සංඥා මඟින් හෝ දෘෂ්‍ය නිරූපණයන් මඟින් හෝ වෙනත් දේ හරහා, ප්‍රචණ්ඩ ක්‍රියා හෝ ආගමික හෝ වාර්ගික අසමගිය හෝ විවිධ ප්‍රජාවන් අතර අමනාපකම් හෝ සතුරු හැඟීම් ඇති කිරීමට අදහස් කිරීම; හෝ


(ඒ) නීත්‍යානුකූල අධිකාරියකින් තොරව, කිසියම් මහා මාර්ගයක, වීථියක, මාර්ගයක හෝ වෙනත් පොදු ස්ථානයක, ඕනෑම පුවරුවක හෝ වෙනත් සවිකිරීමක දිස්වන වචන, ශිලා ලේඛන හෝ අකුරු මකා දැමීම, විකෘති කිරීම හෝ වෙනත් ආකාරයකින් බාධා කිරීම; හෝ


(උ) මෙම පනත යටතේ වරදක් කර ඇති බව දන්නා හෝ විශ්වාස කිරීමට හේතු ඇති ප්‍රකාශිත පුද්ගලයෙකු හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකුට රැකවරණය දීම, සැඟවීම හෝ වෙනත් යම් ආකාරයකින් තොරතුරු දීමෙන් වැළකීම, ඊට බාධා කිරීම හෝ මැදිහත්වීම,


සිදු කරන ඕනෑම පුද්ගලයෙක් මෙම පනත යටතේ වරදක් කරන වරදකරුවෙක් වේ.



මෙම පනත ප්‍රමුඛ ලෙස ක්‍රියාත්මක වූ අවස්ථා මොනවාද ?


1979 වසරේ දී මෙම පනත සම්මත කරන ලද්දේ දෙමළ ජනයාට විරුද්ධව (හේතු රහිතව අත් අඩංගුවට ගත හැකි පරිදි) යි. එදා පටන්  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වින්දිතයන්ව ඇති අති මහත් බහුතරයක් දෙමළ ජාතිකයෝ වෙති. 1985 වසරේදී දෙනියාය ප්‍රදේශයේ දී ජනතා විමුක්ති පෙරමුණේ තරුණ පිරිසක් අත් අඩංගුවට ගැනීම මෙම පනත යටතේ දකුණේ පුද්ගලයන් අත් අඩංගුවට ගත් පළමු අවස්ථාව විය. 1987/1989 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සමයේදීද ප්‍රබල ලෙස මෙම පනත ක්‍රියාත්මක වූ අතර 1988 වසරේ පනතට කළ සංශෝධනයේදී මර්දනය තීව්‍ර කිරීම සඳහා අවශ්‍ය වන අයුරින්  යම් යම් වගන්ති  වෙනස් කරන ලදී. වසර 30කට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය අතර දෙමළ ජනයා අති විශාල සංඛ්‍යාවක් මෙකී පනත යටතේ අත් අඩංගුවට ගත් අතර, ඒ අතරින් ඇතැම් අය අදටත් දශක ගණනක් තිස්සේ මේ යටතේ රඳවා තබාගෙන සිටිනු ලබයි. 2019 පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසු මුස්ලිම් ජනයා සිය ගණනක් මෙම පනත යටතේ අත් අඩංගුවට ගන්නා ලදී. එම සංඛ්‍යාව පවා නිශ්චිතව ප්‍රකාශ කිරීමට රජය අසමත් ය.

ඉන්පසු සියලු දෙනාම හොඳින් දන්නා පරිදි 2022 වසරේ දී පනත යටතේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලදී.


පනත හරහා කිසිඳු පැහැදිලි නඩු නිමිත්තක් හෝ විමර්ශනයකින් තොරව අත් අඩංගුවට ගෙන රඳවා ගැනීමට හැකියාව ඇති බැවින් නිර්දෝෂි භාවයේ පූර්ව නිගමනය ඛණ්ඩනය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් වන නීතිය ඉදිරියේ සමානාත්මතාවය, අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා ගැනීමේ නිසි කාර්යපටිපාටිය, අදහස් ප්‍රකාශනයේ නිදහස, රැස්වීමේ නිදහස, සමාගමයේ නිදහස, කැමති තැනක සංචරණය කිරීමේ නිදහස, රැකියාවක් කිරීමේ නිදහස, ආගමක් ඇදහීමේ නිදහස මෙන්ම නිසි බලතල සහිත අධිකරණයක් මඟින් සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය ද මෙම පනත හරහා උල්ලංඝණය වේ.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයෙක්ව ආරක්ෂක අමාත්‍යවරයා තීරණය කරනු ලබන ස්ථානයක, නියම කරනු ලබන කොන්දේසිවලට යටත්ව මාස 18 ක් දක්වා රඳවා තැබීමේ හැකියාව පවතී. එමෙන්ම රඳාවා තබාගැනීමේ කාල සීමාව දීර්ඝ කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි.  


මෙම පනත යටතේ අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් මුළුල්ලේ රඳවා තබාගෙන සිටින පුද්ගලයන් කිහිප දෙනෙක් පහත දැක්වේ. 


සදීෂ් කුමාර්

2008 වසරේ දී අත් අඩංගුවට ගත් සතීෂ් වසර 15ක් පුරා රඳවා තබාගැනීමෙන් පසු 2023 පෙබරවාරි 1 වනදා නිදහස් කරන ලදී. නමුත් තවමත් විධිමත් නෛතික කාර්ය පටිපාටිය සම්පූර්ණ වී නොමැති බැවින් ඔහු පසුවන්නේ බන්ධනාගාරයේ යි. 


සිවලිංගම් ආරූරන් 

2008 වසරේදී සිය පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී අත් අඩංගුවට ගත් ආරූරන් එවක ඉංජිනේරුවරයෙකි. ඔහු සාහිත්‍යවේදියෙක් ද වන අතර මේ වනවිට දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් කෘති 7ක් පළ කර ඇත. ආරූරන් හට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසක් හිමි වී ඇති අතර 2022 වසරේ හොඳම නවකතාව (දෙමළ) ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවූයේ ඔහු විසින් රචිත 'ආතුරසාලෛ' නවකතාවට යි.


මුත්තයියා සහදේවන් 

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට යටතේ අත් අඩංගුවට ගත් සහදේවන් වසර 14ක් බන්ධනාගාරයේ ගත කරන අතරම ඇති වූ රෝගාබාධ හේතුවෙන් මිය ගියේය.


අහ්නාෆ් ජසීම් 

නවරසම් නම් කවි පොත පළ කිරීම හේතුවෙන් ගුරුවරයෙක් වූ අහ්නාෆ්ව 2020 මැයි මස දී අත් අඩංගුවට ගන්නා ලදී. 2021 දෙසැම්බර් මස දැඩි කොන්දේසි යටතේ ඔහුට ඇප නියම වුවද 2022 දී ත්‍රස්තවාදී ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කරන ලදී. අහ්නාෆ්ට දැන් ගුරු වෘත්තීය ද අහිමි වී ඇති අතර දැන් ඔහු ජීවත් වන්නේ පුද්ගලික ජීවිතය පවා දැඩි ලෙස වාරණය කළ තත්වයක් යටතේ ය. 


වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම් 

1976 වසරේ දී වවිනියාවේ පිහිටුවන ලද ස්වේච්ඡා සමාජ සංවිධානයෙක් වන “ගාන්ධියම් ව්‍යාපාරය” හි ආරම්භයෙක් වූ වෛද්‍ය රාජසුන්දරම්ව 1983 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්නා ලදී. ඔහුව 1983 වසරේ කළු ජූලියේදී වැලිකඩ බන්ධනාගාරය තුළ දී ඝාතනය කරන ලදී. 



මූලාශ්‍ර

http://www.jdslanka.org/s/ 

https://www.lawnet.gov.lk/ 

https://www.parliament.lk/  


Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

මුල්ලිවායික්කාල් දෙමළ වර්ග සංහාර ස්මරණ දිනය