ජාත්‍යන්තර අධිකරණවල ඇසෙන රෝහින්ග්‍යා වර්ග සංහාර නඩුව


 
රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා යනු කවුද?

රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා මියන්මාරයේ වෙසෙන වාර්ගික සුළුතර ජන කණ්ඩායමකි. ඔවුන් පරම්පරා ගණනාවක් තිස්සේ මියන්මාරයේ ජීවත් වූ නමුත් 1982 සම්මත කරන ලද මියන්මාරයේ පුරවැසිභාවය පිළිබඳ නීතිය යටතේ ඔවුන්ගේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප කරන ලදී. එමඟින් රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා රටක් නොමැති ජන කණ්ඩායමක් බවට පත් කරන ලදී. මියන්මාර ආණ්ඩුව දශක ගණනක් තිස්සේ මියන්මාරයේ ජීවත් වූ මෙම ජනයා අනවසර සංක්‍රමණිකයන් සහ 'බෙංගාලී' ජාතිකයන් ලෙස චෝදනා කර, ඔවුන්ව සියලු අවස්ථාවල දැඩි ලෙස වෙනස්කොට සැලකීමට ලක් කරනු ලැබේ. 

1970 දශකයේ සිට රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වෙමින් පවතී. මියන්මාර ආණ්ඩුව සහ අන්තවාදී බෞද්ධ භික්ෂූහු දිනපතා රෝහින්ග්‍යා ජනයාට එරෙහිව දරුණු අපරාධ සිදු කරමින් සිටිති.  2016 අග භාගයේ දී මියන්මාර හමුදාව, පොලිසිය සහ අන්තවාදී බෞද්ධ භික්ෂූන් විසින් රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව දැවැන්ත ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවක් දියත් කරන ලදී. නීති විරෝධී ඝාතන, අධිකරණ ක්‍රියාවලියකින් බැහැර මරණ දඬුවම්, සමූහ දූෂණ, රෝහින්ග්‍යා ගම්මාන, ව්‍යාපාර සහ පාසල් ගිනි තැබීම් සහ ළදරු ඝාතන ඇතුළු පුළුල් පරිමාණයේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සාක්ෂි එක්සත් ජාතීන් විසින් සොයා ගන්නා ලදී. 

හමුදාව සහ ප්‍රාදේශීය ජනතාව විසින් අවම වශයෙන් රෝහින්ග්‍යා ජනයා 25,000 ක් මරා දමා ඇති බවත්, රෝහින්ග්‍යා කාන්තාවන් සහ ගැහැණු ළමයින් 18,000 කට එරෙහිව සමූහ දූෂණ සහ වෙනත් ආකාරයේ ලිංගික හිංසන සිදු කර ඇති බවත්, රෝහින්ග්‍යාවරුන් 116,000 ක් පහර දුන් බවත්, 36,000 ක් ගිනි තැබීමට ලක් කළ බවත් 2018 ජනවාරි මාසයේදී කරන ලද අධ්‍යයනයකින් ඇස්තමේන්තු කරන ලදී. මෙම ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අවම වශයෙන් රොහින්ග්‍යා වැසියන් 700,000 ත් 750,000 ත් අතර සංඛ්‍යාවකට අසල්වැසි බංගලාදේශයට පලා යාමට සිදුවිය. මෙය වියට්නාම යුද්ධයට පසුව ආසියවේ සිදු වූ විශාලතම සංක්‍රමණිකයන් ලෙස නික්ම යෑම වේ. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අන්තර්ජාතික මානව හිමිකම් කණ්ඩායම් මෙම ක්‍රියාවන් වර්ග සංහාරයක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙස විස්තර කර ඇත. කෙවේ වෙතත් මියන්මාර රජය මෙම සොයාගැනීම් "අතිශයෝක්ති" බව පවසමින් ප්‍රතික්ෂේප කළේය.

අන්තර්ජාතික යුක්ති අධිකරණය

2019 නොවැම්බර් මාසයේදී, මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාවට එරෙහි ම්ලේච්ඡ ක්‍රියා වර්ග සංහාරයක් බව පවසමින් ගැම්බියාව විසින් අන්තර්ජාතික යුක්ති අධිකරණය (International Court of Justice) ඉදිරියේ නඩුවක් ගොනු කළේය. 2020 ජනවාරි මාසයේ දී මියන්මාරය රෝහින්ග්‍යා ජනතාවට එරෙහි සියලු වර්ග සංහාරක ක්‍රියා වැළැක්විය යුතු බවට මෙම අධිකරණය ඒකමතිකව සම්මත කරන ලදී. නමුත් මියන්මාර රජය අන්තර්ජාතික යුක්ති අධිකරණ තීරණයට විරුද්ධව යමින් වර්ග සංහාරක ක්‍රියා දිගින් දිගටම සිදු කරන ලදී. 2019 දී ගැම්බියාව විසින් මෙසේ අන්තර්ජාතික යුක්ති අධිකරණය ඉදිරියේ නඩුව ගොනු කිරීම අදාළ අපරාධවලට සෘජු සම්බන්ධයක් නොමැති රටක් වර්ග සංහාර සම්මුතියේ සිය සාමාජිකත්වය භාවිතා කරමින් අන්තර්ජාතික යුක්ති අධිකරණය වෙත නඩුවක් ගොනු කළ පළමු අවස්ථාව විය. මියන්මාරය මෙම වර්ග සංහාර චෝදනාව ප්‍රතික්ෂේප කළේ 2017 දී සිදු කළේ "ත්‍රස්ත මර්දන මෙහෙයුමක්" ලෙස දක්වමිනි. 

ආර්ජන්ටිනාව

2019 නොවැම්බර් මාසයේදී මානව හිමිකම් සංවිධාන සමූහයක් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් මියන්මාර බලධාරීන්ට එරෙහිව 'විශ්වීය අධිකරණ බලය' මූලධර්මය යටතේ ආර්ජන්ටිනාවේ අපරාධ නඩුවක් ගොනු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 2025 පෙබරවාරි මාසයේදී ආර්ජන්ටිනාවේ අධිකරණයක් මියන්මාරයේ අපරාධවලට සම්බන්ධ නිලධාරීන් සහ පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය

2019 දී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (International Criminal Court) අභිචෝදකයා රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව සිදු කරන ලදැයි කියන බරපතල අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේය. මියන්මාරය රෝම සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් නොවුවද, අපරාධයේ එක් කොටසක් වන රෝහින්ග්‍යා ජනයා බලහත්කාරයෙන් පිටුවහල් කිරීම සිදුව ඇත්තේ රෝම සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් වන බංගලාදේශ රාජ්‍යයටයි. එහෙයින් ICCයට මෙම තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ බලය ඇති බව විනිසුරුවන් තීරණය කරන ලදී. 

2024 නොවැම්බර් මාසයේදී ICC අභිචෝදකයා විසින් මියන්මාරයේ හමුදා ප්‍රධානියා සහ ජුන්ටාවේ නායකයාට එරෙහිව රොහින්ග්‍යා ජනයා බලහත්කාරයෙන් පිටුවහල් කිරීම සහ හිංසා පීඩා කිරීම යන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් සඳහා අයදුම්පතක් ගොනු කරන ලදී. 

රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාට එරෙහි අපරාධවලට යුක්තිය ඉටු කිරීම සඳහා වන මෙසේ අන්තර්ජාතික නීතිය සහ අධිකරණ කටයුතු ආරම්භ කිරීම, වර්ග සංහාර සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට ලක් වූ ආසියාවේ වෙනත් රටවල පීඩිත ජන කණ්ඩායම්වලට ද යුක්තිය කෙරෙහි නව බලාපොරොත්තුවක් ඇති කර තිබේ.




Act Now

Comments

Popular posts from this blog

මුල්ලිවායික්කාල් දෙමළ වර්ග සංහාර ස්මරණ දිනය

වසර 200ක් සපිරීම නව උදාවක් වන්නේ කෙසේද?

ජනමාධ්‍ය නිදහස සඳහා වන ජාත්‍යන්තර දිනය