ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය සඳහා වගවීම වාර්තාව
2026 ජනවාරි මාසයේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා පැවති සන්නද්ධ ගැටුම ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ලේඛනගත කරන ලද පුළුල් වාර්තාවක් නිකුත් කළේය. 2009 දී සන්නද්ධ ගැටුම නිල වශයෙන් අවසන් වී වසර ගණනාවකට පසු දිවි ගලවා ගත් දෙමළ ජනයාට යුක්තිය, වගවීම සහ අර්ථවත් පිළියම් ලබා දී නැති බව වාර්තාවෙන් හෙළි විය.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අනුව, ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් හුදකලා සිදුවීම් නොව සන්නද්ධ ගැටුම අතරතුර සහ පශ්චාත් යුධ සන්දර්භය තුළ සිදු වූ පුළුල් අපයෝජන රටාවක කොටසකි. ලේඛනගත සිදුවීම් අතර ජාත්‍යන්තර අපරාධ ලෙස සැලකිය හැකි ස්ත්‍රී දූෂණ, වධහිංසා පැමිණවීම් සහ රැඳවුම් ස්ථානවල සහ වෙනත් සැලසුම් කරන ලද ස්ථාන තුළ සිදු කරන ලද ලිංගික ප්‍රචණ්ඩත්ව ක්‍රියා ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ දේශීය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයන් අසාර්ථක වී ඇති බවත්, නඩු පැවරීම් ස්වල්පයක් සහ සීමිත විමර්ශන පැවතියත් පළිගැනීමේ බිය අඛණ්ඩව පවතින බව වාර්තාව අවධාරණය කරයි. ස්වාධීන නඩු පැවරීමේ යාන්ත්‍රණයන් සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි විශ්වාසය නැවත ඇති කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ඇතුළු ශක්තිමත් වගවීමේ පියවරයන් සඳහා කටයුතු කළ යුතු බව වාර්තාව ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිචාරය
එක්සත් ජාතීන්ගේ සොයාගැනීම් බරපතල වුවද ඊට ශ්‍රී ලංකා රජයේ නිල ප්‍රතිචාරය වූයේ එය ප්‍රතික්ෂේප කිරීමයි. වාර්තාවේ නිර්දේශ පිළිගැනීම වෙනුවට ශ්‍රී ලංකාව විසින් ස්වාධීන හෝ දෙමුහුන් වගවීමේ යාන්ත්‍රණයන් සඳහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත.
අධිකරණ අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු රජයේ නියෝජිතයන්, චෝදනාවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව දේශීය ආයතන - අධිකරණ, පොලීසිය සහ පවතින නීති රාමු - මත දිගටම විශ්වාසය තබන බව පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවට බාහිර හෝ දෙමුහුන් අධිකරණ අවශ්‍ය නොවන බවත්, එවැනි කාරණා හැසිරවීමට තමන්ගේම අධිකරණ පද්ධතියට හැකියාව ඇති බවත් ඔවුහු තර්ක කරති.
"වරදකරුවන් බව ඔප්පු වුවහොත් දඬුවම් දෙනු ලැබේ" යනුවෙන් රජය අවධාරණය කර ඇතත්, වත්මන් යුක්තිය පසිඳලීමේ ක්‍රමයේ ස්වාධීනත්වය සහ ඵලදායීතාවය නොමැති බවට අඛණ්ඩ විවේචන තිබියදීත්, ජාත්‍යන්තර අධීක්ෂණයකට දොර විවෘත කිරීම රජය ප්‍රතික්ෂේප කර ඇත.
වාර්තාව තවමත් සම්පූර්ණයෙන් අධ්‍යයනය කර නොමැති බවට අදාළ අමාත්‍යාංශ ප්‍රකාශ කර ඇත. වාර්තාවේ නිර්දේශවලට ප්‍රතිචාර දැක්වීම සඳහා රජයට ඉක්මන් අවශ්‍යතාවයක් නොමැති බව එයින් ඇඟවෙයි. මෙය සංක්‍රාන්ති යුක්ති ගැටළු සම්බන්ධයෙන් ආන්ඪුවල පවතින දිගුකාලීන උදාසීනත්වයේ අඛණ්ඩතාවයක් ලෙස සැලකිය හැක. එසේමල ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා “සන්නද්ධ හමුදාවන්ට එරෙහි ඕනෑම චෝදනාවක් අපි තරයේ ප්‍රතික්ෂේප කරමු.” යැයි ප්‍රකාශ කර ඇත.
මෙම ස්ථාවරය, ශ්‍රී ලංකාව යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා ජාත්‍යන්තර යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයන් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපත්තියේ දිගුවකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පෙර සැසිවාරවලදී, ශ්‍රී ලංකා නියෝජිතයන් ජාත්‍යන්තර පරීක්ෂණවලට දිගින් දිගටම විරුද්ධ වී ඇත. ඒ වෙනුවට ශ්‍රී ලංකාව, වින්දිතයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන “දේශීය යාන්ත්‍රණ” පමණක් කෙරෙහිම ඇලී ඇත.
මානව හිමිකම් විශේෂඥයන් පවසන්නේ මෙම වාර්තාව ශ්‍රී ලංකාව ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය කෙරෙහි යොමු කරන අවධානමේ තරම, එනම් කෙතරම් එය නොසලකා හරින්නේද යන්න පිළිබඳ මේ දක්වා සිදුකළ වඩාත්ම සවිස්තරාත්මක තක්සේරුව බවයි.
ඉදිරි මාවත කුමක්ද?: යුක්තිය සහ ස්වෛරීභාවය අතර ගැටුම
එක්සත් ජාතීන්ගේ වාර්තාව සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුම ශ්‍රී ලංකාවේ පවතින පුළුල් දේශපාලනික ගැටුම පිළිබඳ එක් උදාහරණයකි. එක් පැත්තකින් සංහිඳියාව, සාමය සහ ජාතිකක් ලෙස සුවපත් වීම සඳහා යුක්තිය සහ වගවීම අත්‍යවශ්‍ය බවට අවධාරණය කරන දිවි ගලවා ගත් වින්දිතයෝ සහ මානව හිමිකම් ක්‍රියාකාරීහු සිටිති. අනෙක් පැත්තෙන් රාජ්‍ය ස්වෛරීභාවය ආරක්ෂා කිරීම, දේශීය ආයතන ආරක්ෂා කිරීම සහ බාහිර මැදිහත්වීම් ලෙස රජය සලකන ක්‍රියාකාරකම්වලට එරෙහි වන රාජ්‍ය සිටියි.
මෙම දෙපාර්ශවයේ ආතතිය වසර ගණනාවක් තිස්සේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම සම්බන්ධ අවථාවල දී දැකිය හැක. ජාත්‍යන්තර පරීක්ෂණ යෝජනා කරන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් විරුද්ධ වී තිබේ.
ශ්‍රී ලංකාව තම ස්ථාවරය ආපසු හැරවීමට සැලසුම් කරන බවට කිසිදු ඇඟවීමක් 2026 වන විටත් දක්නට නැත. කෙසේ වෙතත්, වින්දිතයෝ වසර ගණනාවක් පුරා ලිංගික ප්‍රචණ්ඩත්වය සහ යුද්ධයට සම්බන්ධ අනෙකුත් අපරාධ සඳහා යුක්තිය සහ වගවීම ඉල්ලා අඛණ්ඩ උද්ඝෝෂණ හරහා අවධාරණය කරමින් සිටිති.

Comments
Post a Comment