මහර බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය

 


නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ සිදු කරන ලද වෙඩි තැබීමෙන් මේ වන විට රැඳවියන් 9 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. මහර බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ නිසා තමන්ට PCR පරීක්ෂණ සිදු කරන මෙන් මහර බන්ධනාගාර රැඳවියන් විසින් ඉල්ලීම් කිරීමත් සමඟ ඇති වූ නොසන්සුන්තාවය මත මෙම වෙඩි තැබීම සිදු වී ඇත.

සිරගත කර සිටින පුද්ගලයින්ට අදාළව ජාත්යන්තර සම්මුති ගණනාවක් හරහා ශ්රී ලංකාව වගකීමට බැඳී ඇත. 1980 සිට ශ්රී ලංකාව රාජ්ය පාර්ශවයක් වශයෙන් බැඳී ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතිය (ICCPR) තුළ ජීවත් වීමේ අයිතිය හා නිදහස, නිසි නෛතික ක්රියාවලියකට සම්බන්ධ වීමට සහ සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය තහවුරු කර තිබේ. එහි 10(1) වගන්තිය දක්වන්නේ "ස්වකීය නිදහස අහිමි වූ සියලු පුද්ගලයින්ට මනුෂ්යත්වය හා මනුෂ්යයාගේ සහජ ආත්ම ගෞරවය තහවුරු වන අන්දමට සලකනු ලැබිය යුතු ය" ලෙස යි.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය මඟින් ජීවත් වීමට, නිදහසට හා සුරක්ෂිතතාවයට ඇති අයිතිය දක්වමින් මනුෂ්ය ජීවිතයේ වටිනාකම තහවුරු කර තිබේ.
සිරකරුවන්ට සැලකීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මූලධර්මයන්හි 1 වන මූලධර්මයෙහි දැක්වෙන්නේ "සියලු සිරකරුවන්ට ඔවුන්ගේ සියලු මනුෂ්යත්වයෙහි නාමයෙන් ඔවුන්ට හිමි වටිනාකම සහ ගෞරවය හේතුවෙන්ම ගරුත්වයෙන් යුතුව සැලකීම අවශ්ය වන” බව යි.
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 11 වන ව්යවස්ථාව මඟින් කෲර අමානුෂික වධහිංසාවට ලක් නොවීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ප්රකාශිතවම තහවුරු කර ඇත. එසේම ජීවත් වීමට ඇති අයිතිය ව්යංගාර්ථව නඩු තීන්දු මඟින් ස්ථාපිත කොට ඇත.
මේ ආකාරයටම කොවිඩ් වසංගතය ව්යාප්ත වීමේ අවධානම හේතුවෙන් මෙම වසරේ මාර්තු මස අනුරාධපුර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවය නිසා රැඳවියන් දෙදෙනෙකු ඝාතනය විය. ඉන් පසුව එම සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත් කරන ලදී. එසේම මෙම වසරේ ජූනි මස "බන්ධනාගාර තුළ හා ඒ අවට සිදුවන නීති විරෝධී හා සමාජ විරෝධී ක්රියාකාරකම් විමර්ශනය කිරීම හා වැළැක්වීම" සඳහා අවශ්ය බලතල සහිතව ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ස්ථාපනය කරන ලදී. තවද නව ජනාධිපතිවරයා විසින් පසු ගිය පෙබරවාරි මස වැලිකඩ බන්ධනාගාරයෙහි සංචාරයක නිරත වී එහි පවතින ගැටළු පිළිබඳ රැඳවියන් හා සාකච්ඡා කර ඒවා විසඳීම සඳහා කටයුතු කරන බවට පොරොන්දු වූ බව ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර ඇත.
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 3 සහ 4 ව්යවස්ථාවන්ට අනුව ජනරජයේ පරමාධිපත්යය ජනතාව සතු වේ. ජනතාව විසින් මෙම පරමාධිපත්ය පාලන බලතල, මූලික අයිතිවාසිකම් හා ඡන්ද අයිති හරහා ක්රියාත්මක කරයි. මෙම 'ජනතාව' යන්නට සිරකරුවන්ද අයත් වේ. එම නිසා ඔවුන්ට හිමි ආණ්ඩුක්රම ව්යවස්ථාමය පිළිගැනීම ලබා දීම පැහැර හැරිය හැක්කක් නොවේ.
රටක සිරකරුවන් සිටින්නේ රාජ්යය භාරයේ ය. ඔවුන් පිළිබඳ වගකීම තිබෙන්නේ රජයට යි. ඉතිහාසයේ සිට ශ්රී ලංකාවේ සිරකරුවන් අමානුෂික වධ හිංසනයන්ට, ඝාතනයන්ට ලක් වූ අවස්ථා ගණනාවක් ඇත. නමුත් ඒ කිසිදු සිදුවීමකට යුක්තිය ඉටු වී නොමැත. ප්රජාතන්ත්රවාදය අගයන පුරවැසියන් වශයෙන් අපි සිරකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උදෙසා පෙනී සිටින අතර ඔවුන් උදෙසා යුක්තිය ඉටු විය යුතු බව අවධාරණය කරන්නෙමු.
සිරකරුවෝ මනුෂ්යයෝ සේම මේ රටේ පුරවැසියෝ ද වෙති!!

Act Now
01/12/2020

Comments

Popular posts from this blog

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

உலக சமாதான தினம்