ජනමාධ්‍ය නිදහස සඳහා වන ජාත්‍යන්තර දිනය


ද (මැයි 3) ජනමාධ්‍ය නිදහස සඳහා වන ජාත්‍යන්තර දිනය යි. මාධ්‍ය නිදහසෙහි ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට රජයන්ට ඇති වගකීම සිහි කිරීම සඳහා මෙම දිනය සමරනු ලබයි. එසේම එය මාධ්‍ය වෘත්තියේ යෙදෙන පුද්ගලයින් හට වෘත්තිය තුළ පවතින ගැටළු හා මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා වන දිනයකි. තවද එය මාධ්‍යකරණයේ යෙදීම හේතුවෙන් ජීවිත අහිමි වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීම සඳහා වූ දිනයකි. 


මෙවර දිනයේ තේමාව "මහජන යහපත සඳහා තොරතුරු" යන්න යි. එය අපගේ සෞඛ්‍යට, මානව හිමිකම්වලට, ප්‍රජාතන්ත්‍රවාදයට සහ තිරසර සංවර්ධනයට සෘජු ලෙස බලපෑම් කරන මාධ්‍යකරණයේ නිරත වීම ගැන අවධානය යොමු කරයි. 


ලෝකයේ එක් එක් රටවල මාධ්‍ය නිදහස පිළිබඳ ' දේශසීමා රහිත මාධ්‍යවේදියෝ" සංවිධානය මඟින් 2021 වසර සඳහා ඉදිරිපත් කළ දර්ශකය අනුව රටවල් 178 ක් අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 127 වන ස්ථානයේ ය. එනම් මාධ්‍යවේදීන් සඳහා භයානකම රටක් වශයෙනි. The Committee to Protect Journalists අනුව 1999 - 2009 අතර ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදීන් 10ක් ඝාතනය කර ඇති අතර, අද දක්වා මාධ්‍යවේදීන් 14 දෙනෙක් බලහත්කාරී අතුරුදන් කිරීමට ලක් වී ඇත. ඊට අමතරව මාධ්‍යවේදීන් බොහෝ ගණනක් පැහැරගෙන යෑම, තර්ජනය, දරුණු පහර දීම්, වධ බන්ධනයට ලක් කිරීම ආදී අමානුෂික සැලකීම්වලට ගොදුරු වී ඇත. මාධ්‍යකරණයේ නිරත වීම හේතුවෙන් ආබාධිත වූ මාධ්‍යවේදීන් ද ශ්‍රී ලංකාවේ සිටිති. එසේම ජීවිතාරක්ෂාව සඳහා වෙනත් රටවල ජීවත් වීමට සිදු වූ මාධ්‍යවේදීන් සිටිති. කෙසේ වෙතත් මෙම කිසිම අපරාධයකට යුක්තිය ඉටු වී නොමැත. 

කතාබහට ලක් වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, පෝද්දල ජයන්තට අමානුෂික වධ බන්ධනයට ලක් කිරීම ආදි සිදුවීම් කිහිපයක් හැරුණු කොට ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය නිදහසට එරෙහිව වූ අපරාධ බොහෝ ප්‍රමාණයක් සමාජයේ ඇස් අරවන්නට හෝ සමත් වී නැත. ඒ අපරාධයන්ට යුක්තිය ඉටු නොවී යාම ඊට මූලික හේතුවකි. 


මාධයවේදීන්ට එරෙහිව සිදුවන අපරාධ සේම රජයේ හා පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ මාධ්‍ය හිමිකාරිත්වයද සැබෑ මාධ්‍ය නිදහස අවුරයි. 


සිවිල් යුධ සමය තුළ ශ්‍රී ලංකාව ලෝකයේ මාධ‍යවේදීන්ට භයානකම රටක් බවට දක්වන්නට යෙදුණි. යුධ සමයේ සේම යුද්ධය අවසන් වීමෙන් පසුව ද මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ  සිදු විය. යුධ සමය තුළ සම්මත කරන ලද නීති, පනත්, රෙගුලාසි යුද්ධයෙන් පසුවද භාවිතයේ පවතින අතර, විශේශයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත  මෑත කාලීන්ව ද අදහස් ප්‍රකාශ කිරීම මර්දනය කිරීම සඳහා යොදා ගැනුණි. 


මුහුණු පොතෙහි අන්තවාදි අදහස් ව්‍යාපත කළේ යැයි චෝදනා කර  රම්සි රසීක් ICCPR පනත යටතේ අත් අඩංගුවට ගන්නා ලදී. කෙටි කතාවක් හරහා එක්තරා ආගමකට එරෙහිව වෛරය පැතිර වී යැයි ලේඛක ශක්තික සත්කුමාර අත් අඩංගුවට ගන්නා ලදී. අනාෆ් ජසීම් යන මුස්ලිම් ජාතික තරුණ කවියා දමිළ බසින් පල කළ නවරසම් නම් කවි එකතුවක් පදනම් කරගෙන ඒවායේ අන්තවාදී අදහස් අඩංගු වන්නේ යැයි සිංහල කතා කරන නිලධාරීන් විසින් තීන්දු කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත් අඩංගුවට ගන්නා ලදී. ඉතා මෑතක ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා පාර වැසීමට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට මූලිකත්වය ගත් පුද්ගලයාව පොලිස් රාජකාරියට බාධා කළේ යැයි අත් අඩංගුවට ගන්නා ලදී. 


ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) ව්‍යවස්ථාව මඟින් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස හඳුනා ගෙන තිබේ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තිය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තිය තුළ අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස පිළිබඳ අවධාරණය කෙරේ. 


කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ එම නීති ප්‍රඥප්ති යොදා ගනු ලබන්නේ අදහස් ප්‍රකාශ කිරීම් මර්දනය කිරීමට මිස එය ආරක්ෂා කිරීමට නොවන බව පෙනී යයි. මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී සමාජ භාවිතාවෙන් ඉවත් කළ හැක්කක් නොවේ. නිදහස් මාධ්‍ය නිදහස් සමාජයක් පිළිබිඹු කරනු ඇත. නිදහස් අදහස් ඇහිරීම යනු නිවහල් ජීවිතයකට ඇති අයිතිය ඇහිරීමකි. 


සත්‍ය හෙළි කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිරතව ඝාතනයට ලක් වීමට, පැහැරගැනීමට ලක්වීමට, අතුරුදහන් වීමට, වධ හිංසාවන්ට ලක් වීමට, සිර දඬුවම් විඳීමට සිදු වූ සේම පිටුවහලේ ජීවත් වන්නට සිදු වූ සියලු මාධ්‍යවේදීන්ට අපගේ ආදරය සහ  ආචාරය!


මූලාශ්‍ර 

https://rsf.org/en/sri-lanka?nl=ok

https://rsf.org/en/2021-world-press-freedom-index-journalism-vaccine-against-disinformation-blocked-more-130-countries 



වැඩි දුරටත් කියවන්න - 

"මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තිය හිමිවීම අවසන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය "    https://actnowyouth.blogspot.com/2021/02/blog-post_27.html 


Comments

Popular posts from this blog

ජාත්‍යන්තර මව් භාෂා දිනය

இலங்கை தன் அரசுக்குள் காணாமல் ஆக்கப்பட்டவர்களை காணாமல் ஆக்கப்பட்டவர்கள் என்று ஏற்றுக் கொண்டது எவ்வாறு?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?