දිගන මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය (2018 - 2026)


2018 පෙබරවාරි මස අගදී දිගන අසල තෙල්දෙණිය නගරයේ සිදු වූ පුද්ගලික සිදුවීමක් මුල්සිම් ජනයාට එරෙහිව ප්‍රචණ්ඩත්වය වැපිරීමට හේතුවක් බවට පත් කරගන්නා ලදී. මාර්ග ආරවුලක් හේතුවෙන් සිංහල ලොරි රියදුරෙකුට මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු විසින් පහර දීමෙන් පසුව ඔහු තුවාල ලබා රෝහලේදී මිය ගියේය. ඔහුගේ මරණය ඉක්මනින් මුස්ලිම් ජනයාට එරෙහි සංවිධානාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවක් බවට පරිවර්තනය විය.  අපරාධ නඩුවක් ලෙස පැවතිය හැකිව තිබූ සිදුවීමක් කටකතා, වැරදි තොරතුරු සහ ප්‍රජා කණ්ඩායම් අතර පවතින ආතතීන් හරහා අවුලුවන ලද වාර්ගික එදිරිවාදිකමක් දක්වා වර්ධනය විය.

2018 මාර්තු 5 වන දින දිගන සහ අවට නගරවල මුස්ලිම් නිවාස, ව්‍යාපාර සහ පූජනීය ස්ථානවලට සිංහල මැර කල්ලි පහර දුන්නේය. පොලු, යකඩ පොලු සහ පෙට්‍රල් බෝම්බවලින් සන්නද්ධ සිංහල පුද්ගලයන් පිරිසක් මුස්ලිම් ජනයා සතු දේපළ ඉලක්ක කර ගනිමින්, සාප්පු සහ නිවාස ගිනි තැබූහ. පල්ලි කිහිපයක් ද විනාශ කරන ලදී.

දිගන සහ ඊට පෙර වසරවල පැතිර ගිය මුස්ලිම්-විරෝධී ප්‍රචණ්ඩත්වයන්හි කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ආතතීන් තීව්‍ර කිරීමේදී සමාජ මාධ්‍ය විසින් ඉටු කරන ලද කාර්යභාරයයි. විවිධ 'කුමන්ත්‍රණ' සම්බන්ධයෙන් මුස්ලිම් ජනයාට චෝදනා කරමින් සහ ඒවාට ඔවුන්ගෙන් පළිගැනීම සඳහා සිංහල ජනයාට ආරාධනා කරමින්, කටකතා සහ ගිනි අවුලුවන අසත්‍ය සටහන් අන්තර්ජාලය පුරා පුළුල් ලෙස සංසරණය විය. මෙම අන්තර්ගතයන් මැරයන් එක් රැස් කිරීමට උපකාරී විය.

දින කිහිපයක් පුරා ප්‍රචණ්ඩත්වය දිග හැරුණු අතර, ඇඳිරි නීතිය අතර පවා මෙම ප්‍රචණ්ඩත්වය සිදු විය. බොහෝ මුස්ලිම් පවුල්වලට තම නිවෙස්වලින් පලා ගොස්, පල්ලි, පොලිස් ස්ථාන සහ තාවකාලික නවාතැන් වල ආරක්ෂාව පතා යාමට සිදුවිය. ප්‍රචණ්ඩත්වය හේතුවෙන් 24 හැවරිදි මුස්ලිම් තරුණයකු ඝාතනය වූයේය. මුස්ලිම් ජනයා විශාල ගණනක් පහර කෑම් පිළිස්සීම් හේතුවෙන් තුවාල ලද අතර විශාල දේපළ හානියක් සිදු විය. 

තත්වය නරක අතට හැරෙත්ම, 2018 මාර්තු 6 වන දින ශ්‍රී ලංකා රජය රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය. මහනුවර දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නීතිය පනවන ලද අතර බලපෑමට ලක් වූ ප්‍රදේශවල සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හමුදාව සහ විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක හමුදා යොදවා තිබුණි. සමාජ මාධ්‍ය සතියකට ආසන්න කාලයක් පුරා අවහිර කරන ලදී. 

2025 වසරේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් දිගන ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලදී. රජයේ ආයතන සහ රජයේ නිලධාරීන් විසින් මෙම ප්‍රචණ්ඩත්වයන්ට සම්බන්ධ වූ අන්දම පිළිබඳ පැමිණිලි සහ සාක්ෂි එම වාර්තාව සැකසීමේ දී කොමිසම විසින් එක් රැස් කරගෙන තිබේ. විශේෂ කාර්ය බලකා සාමාජිකයන් විසින් මුස්ලිම් ජනයාට පහර දීම, හිංසනයට ලක් කිරීම සහ මුස්ලිම් ජනයාට අයත් නිවාස දේපළවලට හානි කිරීම කළ බවට කොමිසම නිරීක්ෂණය කර ඇත. ශ්‍රී ලංකා හමුදාව විසින් මුස්ලිම් ජනයාට පහර දීමේ සිදුවීම් ද වාර්තා වී ඇත. පොලිසිය ව්‍යාජ චෝදනා මත මුස්ලිම් ජනයා අත්තනෝමතිකව අත් අඩංගුවට ගැනීම, ප්‍රහාරයන් නොවළක්වීම සහ ප්‍රචණ්ඩතාකරුවන් අත් අඩංගුවට නොගැනීම සිදු කර ඇත. නිවාස හා දේපළ හානි පිළිබඳව සාක්ෂි සහතිව මුස්ලිම් ජනයා විසින් අපරාධකරුවන් සම්බන්ධයෙන් කළ පැමිණිලි පොලිසිය විසින් නිසි පරිදි විභාග කර නැත. එසේම, 119 පොලිස් හදිසි ඇමතුම් සේවයට මුස්ලිම් ජනයා විසින් කළ පැමිණිලිවලට කිසිදු ප්‍රතිචාරයක් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නැත. තවද, ගිනි නිවීමේ හමුදාව ආදී ආයතන පවා ඇතැම් අවස්ථාවළ හානි අවම කිරීමට කටයුතු නොකර ඇති බව වාර්තාවේ දැක්වේ.

බොහෝ ප්‍රචණ්ඩ කල්ලි මෙහෙයවන ලද්දේ මහසොහොන් බලකාය විසිනි. ප්‍රචණ්ඩතාවන්හි නිරත වූ සිංහල පුද්ගලයන් අත් අඩංගුවට ගත් අවස්ථාවල ඔවුන් නිදහස් කරන මෙන් බල කර 'මහසොහොන් බලකායේ' අමිත් වීරසිංහ, අම්පිටියේ සුමනරත්න භික්ෂුව වැනි පුද්ගලයන් විසින් මෙහෙයවන ලද කණ්ඩායම් විසින් විරෝධතා පවත්වන ලදී. එසේම කිසිදු නීතිමය විමර්ශනයකින් තොරව මෙසේ අත් අඩංගුවට ගත් සියලු දෙනා පාහේ පොලිසිය විසින් නිදහස් කර ඇත.

දිගන පුද්ගලික ආරවුලක් ලෙස ආරම්භ වූ සිදුවීමක් ඉක්මනින්ම මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත් ප්‍රහාර දක්වා වර්ධනය විය. එය 2011 වසර පමණ සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් ජනයා ඉලක්ක කරගෙන සිදු වූ සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයන් අතර එකකි. ඒ කිසිදු අපරාධයකට මේ වනතුරු යුක්තිය ඉටු වී නොමැත.


Comments

Popular posts from this blog

මුල්ලිවායික්කාල් දෙමළ වර්ග සංහාර ස්මරණ දිනය

වසර 200ක් සපිරීම නව උදාවක් වන්නේ කෙසේද?

ජනමාධ්‍ය නිදහස සඳහා වන ජාත්‍යන්තර දිනය