ශ්‍රී ලංකා දේශපාලනය තවමත් හැඩගස්වන නීතිය: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)
![]() |
| Image: Lal Laxman |
පසුගිය ජූනි මස 4 වෙනිදා, තරුණ දෙමළ ජාතිකයෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගනු ලැබීය. “Hiphop Sangee” ලෙස ජනප්‍රිය, දෙමළ රැප් ගායක ගනේෂ් කුමාර් සංකීතන් ගායනා කළ ගීතයක් හේතුවෙන් PTA යටතේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඔහුගේ අත්අඩංගුවට ගැනීම යළිත් වරක්, පැරණි නමුත් තවමත් අදාළ ප්‍රශ්නයක් මතු කළේය. එනම්, 'දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දශක ගණනාවක් පුරා විවේචනය කළ මෙම නීතිය මත ශ්‍රී ලංකාව තවමත් රඳා පවතින්නේ ඇයි?' ද යන්න යි.
දශක කිහිපයකට පෙර බලාත්මක කරන ලද එම නීතියෙහි අඛණ්ඩ
භාවිතය පෙන්වා දෙන්නේ මෙම නීතිය තවමත් රටේ දේශපාලන සංස්කෘතිය තුළ ගැඹුරින් මුල්
බැසගෙන ඇති බවයි. අදත් PTA මෙතරම් විවාදයට ලක් වන්නේ ඇයි යන්න තේරුම් ගැනීමට නම්, එහි ඉතිහාසය, විවිධ ජන කණ්ඩායම්වලට හා පුද්ගලයන්ට
එය ඇති කළ බලපෑම් සහ එය දිගටම පවත්වාගෙන යාමට හේතු වන දේශපාලන අවශ්‍යතා විමසා
බැලීම අත්‍යවශ්‍ය වේ.
PTA යනු කුමක්ද?
PTA, 1979 වර්ෂයේදී ජනාධිපති J.R. ජයවර්ධනගේ ආණ්ඩුව විසින් තාවකාලික විධිවිධානයක් ලෙස හඳුන්වා දෙන ලදී. එය ඉදිරිපත් කරන ලද්දේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල රාජ්‍ය භීෂණය සහ මර්දනයට ප්‍රතිරෝධය දක්වමින් සංවිධානය වූ දෙමළ සන්නද්ධ ක්‍රියාකාරකම් මර්දනයට ගෙන ආ හදිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ලෙස යි. කෙසේ වෙතත් මෙම නීතිය ඉතා ඉක්මනින් ස්ථිර නීතියක් බවට පත් වූ අතර, රටේ බලවත්ම නීතිවලින් එකක් ලෙස වර්ධනය විය.
PTA යටතේ නීතිය ක්‍රියාත්මක
කරන බලධාරීන්ට අතිවිශේෂ බලතල හිමි වේ. නඩු විභාගයකින් තොරව දිගු කාලයක් රඳවා තබා
ගැනීම, නීතිමය ක්‍රියාදාමයන්හි
මූලික ආරක්ෂාවන් සීමා කිරීම, සහ රඳවා තබා
ගැනීමේ කාලය තුළ ලබාගත් ප්‍රකාශ සාක්ෂි ලෙස පිළිගැනීම වැනි බලතල ඒ අතර වේ.
Amnesty International, Human Rights Watch, International Commission of Jurists ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
විශේෂඥයන් මෙම නීතිය අත්තනෝමතික ලෙස පුද්ගලයන් රඳවා තැබීමට, වධහිංසාවට ලක් කිරීමට සහ සාධාරණ නඩු
විභාගයක අයිතිය උල්ලංඝනය කිරීමට පහසුකම් සලසන බව දක්වමින් දිගින් දිගටම විවේචනය කර
ඇත.
විවිධ ආණ්ඩු PTA ජාතික ආරක්ෂාව
සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස සාධාරණීකරණය කර තිබුණද, එය වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන්, ශිෂ්‍යයන්, කලාකරුවන් සහ සාමාන්‍ය පුරවැසියන්ට
එරෙහිවයි.
PTA සහ දෙමළ
සමාජය: ප්‍රතිරෝධය දැක්වීම අපරාධයක් බවට පත් කිරීම
PTA හි බලපෑමෙන්
වඩාත්ම පීඩාවට පත්වූ ප්‍රජාව වන්නේ දෙමළ ජනතාවයි. දෙමළ බහුතරයක් ජීවත් වූ ප්‍රදේශ
වන උතුරු-නැගෙනහිර පාලනය කිරීම සඳහා සේ ම, වෙනත් ප්‍රදේශවල ජීවත් වූ දෙමළ ජනයා පීඩාවට පත් කිරීම
සඳහා ද රාජ්‍යය භාවිත කළ ප්‍රධාන මෙවලමක් බවට මෙම නීතිය පත්විය. යුද්ධය පැවති
සමයේදී දෙමළ ජනතාව දහස් ගණනක් PTA යටතේ අත්අඩංගුවට ගනු ලැබීය. මේ අතර කෘතහස්ත මාධ්‍යවේදී තිස්සනායගම් වැන්නනෝ ද වූහ. එසේම වධ හිංසාවට ලක් කර ලබා ගත් පාපොච්චාරණ මත පදනම්ව දිගු කාලීනව සිර දඬුවම් නියම වූවෝද වූහ.ඔවුන්ගෙන් බොහෝ දෙනකු චෝදනා ගොනු නොකර හෝ වරදකරුවන් බවට පත් නොකර වසර ගණනාවක් රඳවා
තබා ගන්නා ලදී. දශක කිහිපයක් කිසිදු චෝදනාවක් නොමැතිව යටතේ බන්ධනාගාරව සිට නිදහස්
වූ දෙමළ පුද්ගලයෝද සිටිති.
2009 වසරේ යුද්ධය අවසන් වුවද PTA තවදුරටත්
බලපැවැත්වුණි. දේශපාලන ක්‍රියාකාරීන්, උතුරු-නැගෙනහිර අනුස්මරණ
කටයුතු සංවිධානය කළ පුද්ගලයන්, මාධ්‍යවේදීන්
සහ ශිෂ්‍යයන් අඛණ්ඩව නිරීක්ෂණයට, ප්‍රශ්න
කිරීම්වලට සහ අත්අඩංගුවට ගැනීම්වලට මුහුණ දුන්හ. දෙමළ ජනයාගේ දේශපාලන අනන්‍යතාවය
ප්‍රකාශ කිරීම, අතීතය සිහිපත්
කිරීම සහ විරුද්ධ මත ප්‍රකාශ කිරීම වැනි දේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලෙස
නොව, ආරක්ෂාවට තර්ජන
ලෙස සැලකීමට PTA හරහා රාජ්‍යයට ඉඩ සලසා ඇත.
PTA ඉතිහාසය දෙමළ
දේශපාලන සිරකරුවන් පිළිබඳ තවමත් නොවිසඳුණු ගැටලුව සමඟද සමීපව බැඳී ඇත. දශක ගණනාවක්
පුරා PTA යටතේ රඳවා සිටින පුද්ගලයන් යුක්තිය, වගවීම සහ සංහිඳියාව සම්බන්ධයෙන් තවමත්
පිළිතුරු නොලැබුණු ප්‍රශ්නවල සංකේත බවට පත්ව සිටිති. PTA සම්බන්ධ
කතිකාවක දී, තම ආදරණීයයන්
වෙනුවෙන් යුක්තිය ඉල්ලා දශක ගණනාවක් පුරා සටන් කරන පවුල්වල අරගලය ඉස්මතු නොකර
බැරිය. උතුරු සහ නැගෙනහිර පුරා PTA යටතේ අත්අඩංගුවට ගනු ලැබූ
පුද්ගලයන්ගේ ඥාතීහි ඔවුන් පිළිබඳ තොරතුරු, සාධාරණ නඩු විභාග සහ නිදහස ඉල්ලා අඛණ්ඩ විරෝධතා ව්‍යාපාර
මෙහෙයවා ඇත.
දේශපාලන සිරකරුවන්ගේ පවුල් නියෝජනය කරන සංවිධාන නැවත
නැවතත් අවධාරණය කර ඇත්තේ PTA, අත්අඩංගුවට ගත් පුද්ගලයාට පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ
පවුලටත්, සමස්ත ප්‍රජාවටත්
දඬුවම් කරන ක්‍රමවේදයක් බව යි. දිගුකාලීනව රඳවා ගැනීම හේතුවෙන් ඇතිවන සමාජීය, ආර්ථික සහ මානසික බලපෑම් පිළිබඳව මානව
හිමිකම් සංවිධාන ලේඛනගත කර ඇත.
PTA සිංහල සහ මුස්ලිම් ජනයා වෙත
PTA විශාල වශයෙන් දෙමළ ජනයා ඉලක්ක කළ ද, ඉතිහාසය පෙන්නුම් කරන්නේ මෙවැනි අසාමාන්‍ය බලතල සහිත නීති කිසිදා එක් ප්‍රජාවකට පමණක් සීමා නොවන බවයි.
PTA උපත ලැබුවේ දෙමළ ප්‍රතිරෝධයේ පසුබිම තුළ වුවද, කාලයත් සමඟම එය ඇතුළත් වූ පුළුල් ආරක්ෂක යාන්ත්‍රණය සිංහල ප්‍රජාවන්ටද බලපෑම් එල්ල කළේය. 1987 - 1989 ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් මෙහෙයවන ලද දෙවන කැරැල්ලට පෙර සිටම 1984 සිට එවක ආණ්ඩුව ඔවුන්ට එරෙහිව PTA භාවිතා කරන ලදී. එම කාලයේදී දහස් ගණනක් සිංහල තරුණ තරුණියන් අත්අඩංගුවට ගැනුණු අතර, අතුරුදන් කිරීම් සහ ඝාතනයට ලක් විය.
2019 වසරේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව මුස්ලිම්
පුද්ගලයන් රැසක් PTA යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබන ලදී. මුස්ලිම් ජනයාට
එරෙහිව අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, දිගුකාලීන රැඳවුම් සහ දුර්වල හෝ සැකසහිත සාක්ෂි මත
පුද්ගලයන් ඉලක්ක කර ගැනීම නො අඩුව සිදු විය. නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ කවි පොතක් පළ කිරීම හේතුවෙන් කිවියර අහ්නාෆ් ජසීම් යටතේ අත් අඩංගුවට ගැනීම සුප්‍රසිද්ධ සිදුවීම් දෙකකි. පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් නීතිය
හමුවට ගෙන එනු වෙනුවට සිදු වූයේ සමස්ත මුස්ලිම් ප්‍රජාවම මත රාජ්‍ය පීඩනය සහ
ආරක්ෂක බලතල තවදුරටත් පුළුල් කිරීම යි.
එසේම, ගාලුමුවදොර විරෝධතා සමයේ එවක ආණ්ඩුව විසින් එහි නිරතව සිටි සිංහල ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගත්තේ ද මෙම PTA යටතේමය.
මෙම ඉතිහාසයෙන් උගත හැකි පාඩම පැහැදිලිය. රාජ්‍ය බලය
හොබවන්නන්ට අසාමාන්‍ය බලතල ලබා දෙන නීතියක් ක්‍රියාත්මක වූ විට, එහි බලපෑම මුල් ඉලක්කයට පමණක් සීමා
නොවේ. අද එක් ප්‍රජාවක් ඉලක්ක කර ගන්නා එවැනි නීතියක්, හෙට වෙනත් ප්‍රජාවක්, දේශපාලන විරුද්ධවාදීන්, ක්‍රියාකාරීන් හෝ සාමාන්‍ය
පුරවැසියන්ට එරෙහිව භාවිතා විය හැකිය. PTA පිළිබඳ විවාදය
දෙමළ ජනතාවගේ හෝ එක් ජන වාර්ගික කණ්ඩායමක ගැටලුවක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ
මූලික අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය
සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධ ප්‍රශ්නයක් වන්නේ එහෙයිනි.
ජාතික ජන බලවේගය මැතිවරණ පොරොන්දුව සහ බලයේ සැබෑ පරීක්ෂණය
බලයට පැමිණීමට පෙර,
ජාතික ජන බලවේගය (ජාජබ) සන්ධානයද PTA අහෝසි කිරීමට පොරොන්දු විය. කෙසේ වෙතත්, ජාජබ රාජ්‍ය බලය ලබා ගැනීමෙන් අනතුරුව ද PTA යටතේ අත් අඩංගුවට ගැනීම් සිදු විය.
ඊශ්‍රායලයට විරෝධය පළ කරමින් ස්ටිකර්යක් ඇලවූ මුස්ලිම් තරුණයෙක් 2025 මාර්තු මස අත් අඩංගුවට ගත් අතර, 2026 ජූනි මස මිය ගිය සිය ජනයා සිහි කරමින් ගීතයක් ගායනා කළ
දෙමළ තරුණයකු අත් අඩංගුවට ගන්නා ලදී.
ජාජබට නායකත්වය දෙන ජවිපෙ, පැවති අනිත් සියලු ආණ්ඩුවලට වෙනස්ව, මෙකී මර්දනකාරී PTA හරහා දැඩි ලෙස මර්දනයට ලක් වූ
දේශපාලන පක්ෂයකි. ජවිපෙ දෙවන කැරැල්ල මර්දනය කිරීමෙන් පසු කාලයේ, එනම් 1990 දශකයේ මුල් භාගයේදී, ජවිපෙ හි ප්‍රධාන දේශපාලන ඉල්ලීම් අතරින් එකක් වූයේ ත්‍රස්තවාදය
වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමයි. රාජ්‍ය
මර්දනයේ අත්දැකීම්වලින් පසු, මර්දනකාරී නීති ප්‍රජාතන්ත්‍රවාදයට
සහ මූලික අයිතිවාසිකම්වලට තර්ජනයක් බව ජවිපෙ එවකට තර්ක කළේය. කෙසේ වෙතත්, ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණ වී මැතිවරණයට ඉදිරිපත්
වීමෙන් අනතුරුව ජවිපෙ හදිසි නීතිය, PTA වැනි මර්දනකාරී නීතිවලට පක්ෂව
කටයුතු කළේය. ඒ මැතිවරණයට ඉදිරිපත් වන විට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයෙහි
දැක්වුණේ ඔවුන් බලයට පැමිණියහොත් 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත්, අපරාධවලින් බේරීමේ පනතත් එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මූලික මිනිස්
අයිතීන් අහෝසි කරන අණ පනත් සියල්ලත් අහෝසි
කරන' බවයි.
මෙවර බලයට පත් වීමට පෙර ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ ද 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට' ජවිපෙ මෙහෙයවන ජාජබ මහජතාවට පොරොන්දු විය. බලයට
පැමිණීමෙන් අනතුරුව ආණ්ඩුව ලෙස ඔවුන් ප්‍රකාශ කළේ ' PTA පරෙස්සමෙන් භාවිතා කරන' බවයි.
PTA යනු දෙමළ ජනතාවගේ ගැටලුවක් හෝ, මුස්ලිම් ජනතාවගේ ගැටලුවක් හෝ, දකුණේ ජනතාවගේ ගැටලුවක් හෝ නොවේ. එය
ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ ගැටලුවකි. අද ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති
මූලික අභියෝගය වන්නේ බිය සහ සැකය මත පදනම්ව පාලන කිරීමේ උරුමයෙන් අවසානයේ
මිදෙන්නේද, නැතහොත් දශක ගණනාවක් පුරා රටේ බරපතළම මානව හිමිකම්
උල්ලංඝනයන්හි කේන්ද්‍රස්ථානය වූ නීතියක් මත තවදුරටත් රඳා පවතින්නේද යන්නයි.
PTA පිළිබඳ විවාදය හුදෙක් ආරක්ෂාව සහ ත්‍රස්තවාදය පිළිබඳ
විවාදයක් නොවේ. එය රාජ්‍ය බලය, රාජ්‍ය ස්වභාවය සහ සැකැස්ම, පුරවැසියන්ගේ
මූලික අයිතිවාසිකම්, සහ යුක්තිය, වගවීම හා නීතියේ ආධිපත්‍යය මත පදනම්
වූ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ විවාදයකි.
එබැවින් PTA සම්බන්ධ ප්‍රශ්නය එක් ජන වාර්ගික හෝ ආගමික ප්‍රජාවකට
පමණක් අදාළ නොව, සමස්ත ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය
සම්බන්ධ ප්‍රශ්නයක් ලෙස සැලකිය යුතුය.
Act Now
2026 ජූනි

Comments
Post a Comment