යුක්තිය කරා දිගු ගමනක්: අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ අම්මාවරුන්ගේ නිම නොවූ අරගලය
සෑම වසරකම
අගෝස්තු 30 වැනිදා ලොව
පුරා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි.
එහෙත් ශ්‍රී ලංකාවේ පවුල් දහස් ගණනකට අතුරුදහන් වීම යනු අතීතයට සීමා වූ සිදුවීමක්
නොවේ. එය දශක ගණනාවක් පුරා පිළිතුරක් නොමැතිව පවතින ප්‍රශ්නයකි.
ශ්‍රී ලංකාවේ
උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ අම්මාවරු සහ ඥාතීන් මෙම
අවිනිශ්චිතතාවය, සත්‍යය සහ
යුක්තිය සොයා යන අඛණ්ඩ අරගලයක් බවට පත් කරගෙන තිබේ. මෙවර ජාත්‍යන්තර දිනය
නිමිත්තෙන් එම පවුල් යාපනයට රැස්වූයේ ජාත්‍යන්තර සමුළුවක් සඳහාය. එය සංවිධානය කර
තිබුණේ අතුරුදහන් කිරීමට ලක් වූවන් සිහිපත් කිරීම සඳහා පමණක් නොව, ශ්‍රී ලංකා
රාජ්‍යයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් පිළිතුරු ඉල්ලා සිටීම සඳහා යි.
බලහත්කාරයෙන්
අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය
සෑම වසරකම
අගෝස්තු 30 වැනිදා
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි. ලොව පුරා
සිදුවන බලහත්කාර සහ ස්වේච්ඡා නොවන අතුරුදහන් කිරීම් මෙන්ම, එවැනි
සිදුවීම්වල වින්දිතයන්ගේ පවුල් සහ සාක්ෂිකරුවන් මුහුණ දෙන බිය ගැන්වීම් සහ දුක්
වේදනා සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2010 දෙසැම්බර්
මාසයේදී සම්මත කළ 65/209 යෝජනාව මගින්
මෙම දිනය ස්ථාපිත කරන ලදී.
පුද්ගලයෙකු
රාජ්‍ය බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම හෝ පැහැරගෙන යාමෙන් පසුව, එම පුද්ගලයාගේ
නිදහස අහිමි කර ඇති බව පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම හෝ ඔහුගේ හෝ ඇයගේ ඉරණම සහ
සිටින ස්ථානය හෙළි කිරීම ප්‍රතික්ෂේප කිරීම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමක් ලෙස
සැලකේ. එහි ප්‍රතිඵලයක් ලෙස වින්දිතයා නීතියේ ආරක්ෂාවෙන් බැහැර තත්ත්වයකට පත්වේ.
එහෙත්
පුද්ගලයෙකු රැගෙන යාමෙන් අතුරුදහන් වීම අවසන් නොවේ. එය ඔහුගේ හෝ ඇයගේ පවුලට අඛණ්ඩව
බලපාන අයිතිවාසිකම් උල්ලංඝනයක් බවට පත්වේ. තම ආදරණීයයා ජීවතුන් අතර ද, මියගොසින්ද, ඔහු හෝ ඇය
රඳවා සිටින්නේ කොහේද, ඔවුන්ට
සිදුවූයේ කුමක්ද යන්න නොදැන ඥාතීන්ට ජීවත් වීමට සිදුවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය
මෙම දිගුකාලීන අවිනිශ්චිතතාවය ගැඹුරු මානසික වේදනාවක් ලෙස විස්තර කරයි. එබැවින් මෙම
දිනයේ වැදගත්කම හුදෙක් සිහිපත් කිරීමකට සීමා නොවේ. එය වින්දිතයන්ට සහ ඔවුන්ගේ
පවුල්වලට සත්‍යය දැනගැනීමට,
යුක්තිය ලබාගැනීමට, ප්‍රතිසංස්කරණ සහ වන්දි ලබාගැනීමට සහ එවැනි
සිදුවීම් යළි සිදු නොවන බවට සහතිකයක් ලබාගැනීමට ඇති අයිතිය සිහිපත් කරන දිනයකි.
බලහත්කාරයෙන්
අතුරුදහන් කිරීමට ලක් වූ සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර
සම්මුතිය සම්මත කර වසර 20ක් සපිරීම
හේතුවෙන් 2026 වසර විශේෂ
වැදගත්කමක් උසුලයි. මෙවර ජාත්‍යන්තර දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය වින්දිතයන්
කෙන්ද්‍රීය කරමින් “Victims First. Actions Now” යන තේමාව ඉදිරිපත් කර
තිබේ.
එහෙත් ක්‍රියාමාර්ගයක්
ඉල්ලා සිටීම උතුරු නැගෙනහිර අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ පවුල්වලට කිසිසේත්ම
අලුත් ඉල්ලීමක් නොවේ.
ශ්‍රී ලංකාව: ලෝකයේ නොවිසඳුණු එක් අතුරුදහන්වීම් අර්බුදයක්
ශ්‍රී ලංකාව ලෝකයේ දීර්ඝතම සහ විශාලතම බලහත්කාර අතුරුදහන්වීම් ඉතිහාසයක් ඇති රටවල් අතරින් එකකි. දේශපාලන ප්‍රචණ්ඩත්වයේ සහ සන්නද්ධ ගැටුම්වල විවිධ අවස්ථාවලදී අතුරුදහන් කිරීම් සිදුවී ඇති අතර, දකුණේ තරුණ නැගිටීම් දෙක අතරතුර මෙන්ම උතුරු හා නැගෙනහිර යුද්ධය අතරතුරද විශාල පිරිසක් අතුරුදහන් කිරීමට ලක් වූහ.
එක්සත්
ජාතීන්ගේ බලහත්කාර හෝ ස්වේච්ඡා නොවන අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම
විසින් කරන ලද ඇස්තමේන්තුවකට අනුව, බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන්
ලෝකයේ දෙවැනි ඉහළම සංඛ්‍යාව වාර්තා වන රට ශ්‍රී ලංකාවයි.
2025 වසරේ ශ්‍රී ලංකාව
සම්බන්ධයෙන් සිදු කළ සමාලෝචනයේදී එක්සත් ජාතීන්ගේ බලහත්කාර අතුරුදහන් කිරීම්
පිළිබඳ කමිටුව සඳහන් කළේ 2024 වසර අවසන් වන
විට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) වෙත
පැමිණිලි 16,966ක් ලැබී ඇති
බවයි. සම්පූර්ණ ජාතික ලේඛනයක් නොමැති වීම, මීට පෙර පිහිටුවන ලද කොමිෂන් සභාවල වාර්තාවල
ප්‍රගතියයක් නොමැති වීම සහ අතුරුදහන් කිරීමට ලක් වූ පුද්ගලයන්ගේ ඉරණම හා සිටින
ස්ථානය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම සම්බන්ධයෙන්ද කමිටුව සිය කනස්සල්ල පළ
කළේය.
ශ්‍රී ලංකාව 2016 වසරේදී
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූ සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර
සම්මුතිය අනුමත කළ අතර,
2018 වසරේදී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම අපරාධයක් බවට පත්
කරමින් දේශීය නීති සම්පාදනය කළේය. ඒ අනුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය
සහ හානිපූරණය සඳහා වන කාර්යාලයද පිහිටුවන ලදී.
එහෙත් ආයතන සහ
නීති පැවතීම වින්දිත පවුල්වලට පිළිතුරු බවට පරිවර්තනය වී නොමැත.
විමර්ශනවලට
මැදිහත්වීම් සහ බාධා කිරීම් පිළිබඳ චෝදනා, අධිකරණ හා නීතිමය ක්‍රියාදාමයන්හි
ස්වාධීනත්වය පිළිබඳ ගැටලු සහ අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්, විශේෂයෙන්
කාන්තාවන් ආවේක්ෂණයට
ලක් කිරීම, තර්ජනය කිරීම
සහ බිය ගැන්වීම පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කමිටුව අවධානය යොමු කර
තිබේ. අතුරුදහන් කිරීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන්ට විමර්ශනවලට බලපෑම් කළ
හැකි අන්දමින් තනතුරු ලබා නොදෙන ලෙසද එම කමිටුව ඉල්ලා තිබේ.
මෙවර ජාත්‍යන්තර
දිනය නිමිත්තෙන් උතුරු හා නැගෙනහිර පැවති සැමරුම විශේෂ විය. අතුරුදහන් කිරීමට ලක්
වූවන්ගේ පවුල් විසින් අගෝස්තු 30 වැනිදා යාපනයේදී “යුක්තිය කරා දිගු ගමනක්” යන තේමාව
යටතේ ජාත්‍යන්තර සමුළුවක් සංවිධානය කරන ලදී. තන්දෛ සෙල්වා
ශ්‍රවණාගාරයේ පැවති මෙම සමුළුවට උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පුරා සිට පැමිණි
අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීහු, ජාත්‍යන්තර මානව හිමිකම් නියෝජිතයෝ, සිවිල් සමාජ
ක්‍රියාකාරීහු, දේශපාලන
නියෝජිතයෝ සහ අනෙකුත් සහය දක්වන්නෝ එක්ව සිටියහ. මෙම සමුළුව
එක් දිනක සැමරුමකට වඩා වැඩි දෙයකි. එය දශක දෙකකට ආසන්න කාලයක් පුරා ගෙන යන අරගලයක
ඉතිහාසය ආරක්ෂා කර තබා ගැනීමට දැරූ උත්සාහයකි.
වැඩසටහන ආරම්භ
වූයේ අම්මාවරු සහ ඥාතීන් සිය ගණනක් වීරසිංහම් ශාලාවේ සිට තන්දෛ සෙල්වා ශ්‍රවණාගාරය
දක්වා එක්ව පා ගමනක යෙදීමෙනි. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූ දෙමළ ජනතාවගේ
මුහුණු මඟින් ආවරණය කර තිබූ සුදු වෑන් රථයක් මෙම පා ගමනේ පෙරමුණ ගත්තේය. අතුරුදහන්
කිරීමට ලක් වූවන්ගේ ඥාතීහු සහ අම්මාවරු අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර
පරීක්ෂණයක් සහ ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා සටන් පාඨ කියමින් ගමන් කළහ. අතුරුදහන් වූ
තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ දේශීය යාන්ත්‍රණද ඔවුහු දැඩි ලෙස විවේචනය කළහ.
එමෙන්ම 2009 වසරේ යුද්ධයේ
අවසන් සමයේ ශ්‍රී ලංකා හමුදාවට භාර වූ පුද්ගලයන්ට සිදුවූයේ කුමක්දැයි ඔවුහු අඛණ්ඩව
ප්‍රශ්න කළහ.
මෙම සමුළුවේදී
“සාක්ෂි මකා දැමීම” (Erasure of Evidence) නමින් ප්‍රකාශනයක්ද
එළිදක්වන ලදී. තම දරුවන් සොයමින් වසර ගණනාවක් ගත කළත් පිළිතුරු නොලබාම මියගිය
අම්මාවරු සහ පියවරුන්ගේ ජීවිත පිළිබඳ තොරතුරු භාෂා තුනෙන්ම එහි ලේඛනගත කර තිබේ.
බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද දරුවන් පිළිබඳ තවත් ප්‍රකාශනයක් ද, පවුල් විසින්
වසර 17ක් පුරා ගෙන
ගිය අරගලය පිළිබඳ ප්‍රකාශනයක්ද ඉදිරිපත් කරන ලදී. ඔවුන් ඉදිරිපත් කළ පෙත්සම්, බලධාරීන් සමඟ
පැවැත්වූ සාකච්ඡා, විරෝධතා, විරෝධතා
පැවැත්වූ ස්ථාන සහ ඔවුන්ට මුහුණ දීමට සිදුවූ දුෂ්කරතා එහි ඇතුළත් වේ.
පහත කරුණු
සමුළුවේ අරමුණු බව අම්මාවරු විස්තර කළහ.
1. දේශීය යාන්ත්‍රණවල අසාර්ථකත්වය විමසා
බැලීම
බලහත්කාරයෙන්
අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින දේශීය වගවීමේ යාන්ත්‍රණ අඛණ්ඩව
අසාර්ථක වී ඇති ආකාරය, ගැඹුරින් මුල් බැස ඇති දණ්ඩමුක්ති සංස්කෘතිය සහ දීර්ඝ
කාලයක් පුරා ක්‍රියාත්මක වන අකාර්යක්ෂම අධිකරණ ක්‍රියාවලීන් විමසා බැලීම.
ශ්‍රී ලංකාවේ
යුක්තිය පසිඳලීමේ පද්ධතිය කෙරෙහි සහ සත්‍යය, යුක්තිය, වගවීම හා
ඵලදායී ප්‍රතිකර්ම ලබාදීමට එහි ඇති හැකියාව කෙරෙහි අම්මාවරු ඇතුළු බලහත්කාරයෙන්
අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන්ගේ පවුල්වල විශ්වාසය ක්‍රමයෙන් පිරිහී ඇති ආකාරය
අවධාරණය කිරීම.
2. ගැටලුව ජාත්‍යන්තර මට්ටමට ගෙන යාම
රජයන්, එක්සත්
ජාතීන්ගේ සංවිධානය, රාජ්‍යතාන්ත්‍රිකයන්, සිවිල් සමාජ සංවිධාන සහ ගෝලීය මානව
හිමිකම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන්
අතුරුදහන් කිරීම් පිළිබඳ ගැටලුවට වැඩි ජාත්‍යන්තර අවධානයක් යොමු කිරීම.
3. අර්ථවත් ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක්
සඳහා ඉල්ලීමක් කිරීම
වින්දිතයන්ට සහ
ඔවුන්ගේ පවුල්වලට සත්‍යය, යුක්තිය, වගවීම සහ ඵලදායී ප්‍රතිකර්ම සහතික
කිරීම සඳහා අර්ථවත් හා ඵලදායී ක්‍රියාමාර්ග ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ
ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටීම.
4. අම්මාවරුන්ගේ අරගලය ලේඛනගත කිරීම සහ
ගෞරවයට පාත්‍ර කිරීම
බලහත්කාරයෙන්
අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ අම්මාවරු සහ පවුල් විසින් දීර්ඝ කාලයක් පුරා
සාමකාමීව ගෙන යනු ලබන අරගලය ලේඛනගත කිරීම, සංරක්ෂණය කිරීම සහ පිළිගැනීම.
සත්‍යය සෙවීම, වගවීම ශක්තිමත්
කිරීම සහ යුක්තිය වෙත ප්‍රවේශය තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව දිරිමත්
කිරීම.
5. වින්දිත කේන්ද්‍රීය යාන්ත්‍රණ සඳහා
පෙනී සිටීම
ජාත්‍යන්තර
මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව ස්වාධීන හා වින්දිත කේන්ද්‍රීය සත්‍ය සෙවීමේ සහ
වගවීමේ යාන්ත්‍රණ ස්ථාපිත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.
මේ හරහා බලපෑමට
ලක් වූ පවුල් සමඟ ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම.
6.
අම්මාවරුන්ගේ ධෛර්යයට හා අපරාජිත බවට ගෞරව කිරීම
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ අම්මාවරු අඛණ්ඩව ගෙන යන අරගලය, ඔවුන්ගේ ධෛර්යය, අපරාජිත බව සහ යුක්තිය සෙවීමේ නොසැලෙන අධිෂ්ඨානය පිළිගෙන ගෞරවයට පාත්‍ර කිරීම.
සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් ඔවුන් ගෙන යන අරගලය දින් දිග්ටම ගෝලීය මානව හිමිකම් ව්‍යාපාරය උත්තේජනය කරන බව ජාත්‍යන්තර ප්‍රජාවට සිහිපත් කිරීම.
7. සමූහ මිනීවළවල් සහ චෝදනා එල්ල වී ඇති සාහසික අපරාධ සිදු වූ ස්ථාන පිළිබඳ විමර්ශනවල අවශ්‍යතාව අවධාරණය කිරීම
සමූහ මිනීවළවල් සහ චෝදනා එල්ල වී ඇති සාහසික අපරාධ සිදු වූ ස්ථාන සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී සහ ජාත්‍යන්තර සහාය සහිත විමර්ශන පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කිරීම.
එවැනි විමර්ශන මඟින් සාක්ෂි සංරක්ෂණය කිරීම, අධිකරණ වෛද්‍ය පරීක්ෂණවල අඛණ්ඩතාව සහ විශ්වසනීයත්වය, සත්‍යය දැනගැනීමට පවුල්වලට ඇති අයිතිය සහ වගවීම සහතික කළ යුතුය.
8. ජාත්‍යන්තර වගවීම සඳහා කැඳවීමක්
දෙමළ ජනතාවට එරෙහිව සිදු කර ඇතැයි චෝදිත වර්ග සංහාරය පිළිබඳ බරපතළ චෝදනා සඳහා ස්වාධීන ජාත්‍යන්තර වගවීමේ ක්‍රියාවලීන් හරහා සුදුසු ලෙස අවධානය යොමු කර ප්‍රතිචාර දක්වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටීම.
වින්දිතයන් සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන් සමඟ සහයෝගයෙන් සිට ගන්නා ලෙසත්, නැවතත් සාහසික අපරාධ සිදුවීම වැළැක්වීමට කටයුතු කරන ලෙසත්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් සඳහා වගකිව යුතු පුද්ගලයන් අදාළ ජාත්‍යන්තර නීතිමය ප්‍රමිතීන්ට අනුකූලව වගවීමට යටත් වන බව සහතික කරන ලෙසත් අපි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු.
සමුළුවේ හඬ:
සත්‍යය, වගවීම සහ ජාත්‍යන්තර
ක්‍රියාමාර්ග
සමුළුවේ ප්‍රධාන
ආරාධිතයන් අතර එක්සත් ජාතීන්ගේ බලහත්කාරී හෝ ස්වේච්ඡා නොවන අතුරුදහන් කිරීම්
පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජික ආනා ලොරේනා ඩෙල්ගඩියෝ පෙරේස් මහත්මියද
සිටියාය. ලොව පුරා සිද්ධි 66,000කට වැඩි සංඛ්‍යාවක්
සම්බන්ධයෙන් ක්‍රියාකාරී කණ්ඩායම තොරතුරු සම්ප්‍රේෂණය කර ඇති බවත්, ශ්‍රී ලංකාව
සම්බන්ධයෙන් පමණක් වසර ගණනාවක් පුරා පැමිණිලි 12,000කට වැඩි සංඛ්‍යාවක්
ඉදිරිපත් වී ඇති බවත් ඇය සඳහන් කළාය. 1987-89 කාලය තුළ අතුරුදහන්
කිරීමට ලක් වූ සිංහල තරුණ තරුණියන් පිළිබඳවද ක්‍රියාකාරී කණ්ඩායම වෙත වාර්තා වී
ඇති බව ඇනා ලොරේනා පෙන්වා දුන්නාය. අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ අම්මාවරු අද
මුහුණ දෙන තර්ජන, බිය ගැන්වීම්
සහ මූල්‍යමය බාධාවන් පිළිබඳවද ඇය අවධානය යොමු කළාය. සත්‍යය නොදැන කිසිදු අම්මා
කෙනෙක් මිය යා යුතු නැතැයි ඇය අවධාරණය කළාය. රාජ්‍යයට ඇති විශාලතම අභියෝගයක් වන්නේ
අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ අම්මාවරු සහ ඥාතීන් අතර පවතින එකමුතුව බවද ඇය පෙන්වා
දුන්නාය. දණ්ඩමුක්තිය ඉහළ මට්ටමක පැවතීම, බලහත්කාරී අතුරුදහන් කිරීම් කිරීම සඳහා
අවසරයක් පවතින බවට පණිවිඩයක් බවද එක්සත්
ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකාව අවධාරණය කළාය. බලහත්කාර අතුරුදහන් කිරීම්
පිළිබඳ සත්‍යය හෙළි කිරීම සම්බන්ධයෙන් රජයට අවශ්‍ය ඕනෑම තාක්ෂණික සහායක් ලබාදීමට
තම කණ්ඩායම සූදානම් බවද ඇය ප්‍රකාශ කළාය.
තවත් ප්‍රධාන
ආරාධිතයකු වූයේ ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ස්ම්‍රිති
සිං මහත්මියයි. ප්‍රතිසන්ධානය පිළිබඳ රජයේ ප්‍රකාශ සහ සැබෑ වගවීම සම්බන්ධයෙන් ලබා
ඇති ප්‍රගතිය අතර පවතින පරතරය පිළිබඳව සිං මහත්මිය අවධානය යොමු කළාය. අතුරුදහන්
කිරීමට ලක් වූවන්ට සිදුවූයේ කුමක්දැයි සොයා ගැනීම සහ ඊට වගකිවයුත්තන් හඳුනා ගැනීම
එකිනෙකින් වෙන් කළ නොහැකි කරුණු බව ඇය පෙන්වා දුන්නාය. 2026 අගෝස්තු 30 වැනිදා
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ පණිවිඩය හරහා ද ශ්‍රී ලංකාව පුරා පවුල් දස
දහස් ගණනක් තම ප්‍රියාදරයන්ගේ ඉරණම දැනගැනීමට තවමත් බලා සිටින බව පිළිගෙන තිබේ.
වසර ගණනාවකට
පෙර තම දරුවන් සොයමින් අරගලය ආරම්භ කළ අම්මාවරු අද වයස්ගත වී සිටිති. ඇතැම්
අම්මාවරු මිය ගොසිනි. තවත් අම්මාවරු තවමත් එකම ඡායාරූප අතැතිව විරෝධතාවලට සහභාගී
වෙමින් එකම ප්‍රශ්නය අසති. 2006 වසරේදී තම පුතා අතුරුදහන් කිරීමට ලක් වූ එක් මවක් තම
අත්දැකීම විස්තර කළේ බලාපොරොත්තුව සහ ශෝකය අතර නතර වූ ජීවිතයක් ලෙසය. දශක දෙකකට
ආසන්න කාලයක් ගතව තිබුණද,
කෙනෙකු ළඟා වන හඬක් ඇසෙන සෑම අවස්ථාවකම තම පුතා අවසානයේ
ආපසු පැමිණ ඇතැයි සිතමින් ඇය තවමත් දොර දෙස බලන බව ඇය පැවසූවාය. යුද්ධයේ අවසන්
අවස්ථාවේදී දෙමළ ජනතාව අතහැර ගිය ජාත්‍යන්තර සංවිධාන පවා වගවීමට ලක් කළ යුතු බවද
ඇය අවධාරණය කළාය.
අතුරුදහන්
කිරීමට ලක් වීම හුදෙක් පරිපාලනමය කරුණක් බවට පත් කරන ප්‍රවේශයන් තමන් ප්‍රතික්ෂේප
කරන බව වින්දිත පවුල් යළිත් අවධාරණය කළහ. වන්දි ලබාදීම, අතුරුදහන් වූ
බවට සහතික නිකුත් කිරීම හෝ රාජ්‍ය ආයතන මගින් පිළිගැනීම තම ආදරණීයයන්ට සිදුවූයේ
කුමක්දැයි දැනගැනීමට ඇති අයිතිය වෙනුවට ආදේශ කළ නොහැකි බව ඔවුහු නැවත නැවතත්
පෙන්වා දුන්හ.
ඔවුන්ගේ මූලික
ඉල්ලීම් වන්නේ සත්‍යය සහ වගවීම යි.
“අප රක්නා මතකයන්” ප්‍රදර්ශනය
සමුළුවෙන්
අනතුරුව බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් වූ පුද්ගලයන්ගේ මතකයන් සුරැකීම සහ ප්‍රදර්ශනය
කිරීම සඳහා “අප රක්නා මතකයන්” නමින් ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි. අතුරුදන්
කිරීමට ලක් වූ පුද්ගලයන්ට අයත්ව තිබූ ඇඳුම්, ඔරලෝසු, ජංගම දුරකථන, සරල ආභරණ, පොත්, සෙරෙප්පු ආදි
ඔවුන් දෛනික ජීවිතයේ භාවිත කළ පෞද්ගලික භාණ්ඩ රැසක් මෙම ප්‍රදර්ශනයේදී ඉදිරිපත්
කරන ලදී. මෙම භාණ්ඩවලට සාමාන්‍ය පෞද්ගලික භාන්ඩවලාට වඩා වැඩි අර්ථයක් තිබේ.
ඔවුන්ගෙඋ ඉරණම සහ සිටින ස්ථානය තවමත් නොදන්නා පුද්ගලයන්ගේ මතකයන්, අනන්‍යතාවයන්
සහ ජීවිත කතා ඒවායේ රැඳී තිබේ. මෙම පෞද්ගලික භාණ්ඩ එක් ස්ථානයක ප්‍රදර්ශනය කිරීම
හරහා එම පවුල්වලට තම කතාන්දර නරඹන්නන් සමඟ බෙදාගැනීමට අවස්ථාවක් ලැබුණි. සෑම
අතුරුදන් කිරීමට ලක් වූ පුද්ගලයෙකුටම තමන්ගේම ජීවිතයක්, පවුලක්, පෞද්ගලික
මතකයන් සහ ඔහු/ඇය යම් ප්‍රජාවක කොටසක් වන බව මෙම ප්‍රදර්ශනය ප්‍රබල ලෙස සිහිපත් කර
දුන්නේය.
සිහිපත්
කිරීමෙන් ඔබ්බට: යුක්තිය යනු කුමක්ද?
දශක ගණනාවක්
පුරා රජයන් වෙනස් වී තිබේ. කොමිෂන් සභා පිහිටුවා තිබේ. වාර්තා සකස් කර තිබේ. නව
ආයතන පිහිටුවා තිබේ. නීති සම්පාදනය කර තිබේ. එහෙත් අම්මාවරු තවමත් තම පුතුන්ගේ සහ
දියණියන්ගේ ඉරණම නොදැන එකම තැන ඡායාරූප අතැතිව සිටිති. මෙම අම්මාවරුන්ගේ අරගලය
මගින් කාලය ගතවීමෙන් අතුරුදහන්වීමේ තුවාල සුව වනු ඇතැයි යන අදහස අභියෝගයට ලක්
කරයි. සිදුවූයේ කුමක්ද යන මූලික ප්‍රශ්නයට කාලය පිළිතුරක් ලබා දෙන්නේ නැත.
අතුරුදහන්වීම්
සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම යනු ප්‍රකාශ සහ යාන්ත්‍රණවලින් ඔබ්බට ගොස් ප්‍රතිඵල
ලබාදීමයි. විශ්වාසනීය විමර්ශන සිදු කළ යුතුය. සාක්ෂි වෙත ප්‍රවේශය තහවුරු කළ
යුතුය. වින්දිතයන් හඳුනාගත යුතුය. වගකිවයුත්තන් වගවීමට ලක් කළ යුතුය. පවුල් සහ
සාක්ෂිකරුවන් ආරක්ෂා කළ යුතුය. අර්ථවත් ප්‍රතිසංස්කරණ සහ වන්දි ලබාදිය යුතුය.
සියල්ලටම වඩා, වසර ගණනාවක්
පුරා මෙම අරගලය තම කර මත ගෙන ගිය මිනිසුන්ගේ හඬට සවන් දිය යුතුය.
අතුරුදහන්
කිරීමට ලක් වූවන්ගේ අම්මාවරු දැනටමත් තම ස්ථාවරය පැහැදිලි කර තිබේ. සත්‍ය වැළලී
තිබියදී මූල්‍යමය සහාය ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින්නේ නැත. ඔවුන් අසා සිටින්නේ
තම දරුවන්ට සිදුවූයේ කුමක්දැයි යන්නයි. ඔවුන්ගේ ප්‍රශ්නය රජයන්, කොමිෂන් සභා
සහ දශක ගණනාවක නිහඬතාවය මධ්‍යයේ අදටත් ජීවමානව පවතී.
ඔවුන් කොහේද?
එම ප්‍රශ්නයට
පිළිතුරක් ලැබෙන තුරු, යුක්තිය කරා
යන ගමන අවසන් නොවෙනු ඇත.
Act Now
2026 සැප්තැම්බර් 2











Comments
Post a Comment